සෞඛ්‍ය ලේකම්වරයාට දැඩි විරෝධයක්

සෞඛ්‍ය ලේකම්වරයාට දැඩි විරෝධයක්

වෛද්‍යවරුන් පිරිසකගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනීතික හා අවිධිමත් ලෙස අවලංගු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගනු ලැබ ඇති උත්සාහයට විරෝධය පළකරමින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාල ලිපි වහාම ඉල්ලා අස් කරගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙ ්වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, උක්ත කරුණ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි අවදානය යොමුව ඇත.

යම් වෛද්‍යවරයෙක් දෙපාර්තමේන්තු රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කරයි නම් ඒ සඳහා පරිපාලනමය වශයෙන් නිසි පියවර ගැනීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසද අනුකූලතාවය පල කර සිටිමු. එම වෛද්‍යවරුන් විදේශගත වීම හෝ වෙනත් යම් හේතුවක් මත නිසි අවසරයකින් තොරව රාජකාරියට නොපැමිනෙයි නම් ආයතන සංග්‍රහයට අනුවද ඒ සඳහා පියවර ගත හැක.

කෙසේ නමුත් එවන් සිද්ධීන් සඳහා පසුබිම් වන කරුණුද සෞඛ්‍ය අමාත්‍යංශය ලෙසත්, වගකිව යුතු බලධාරීන් ලෙසත් වඩා විස්තරාත්මක හා සමීප ලෙස අධ්‍යයනය කළ යුතු බවද මෙහිදි පෙන්වා දෙමු.

ක්‍රියාත්මක විය හැකි නිශ්චිත රාමුවක් තිබියදි ඉන් බැහැරව අනීතික හා අවිධිමත් ලෙස අදාල වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල ලියාපදිංචිය අවලංගු කර දැමීමට සෞඛ්‍ය ලේකම්වරයා උත්සාහ දරා ඇති බව මේ වන විට හෙලිදරව් වෙමින් පවති.

සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිටින සමහරක් නිලධාරීන්ගේ පෞද්ගලික මතවාදයන් පාර්ශවකරුවන්ගේ එකඟතාවයකින් හෝ සාකච්ඡාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ බලධාරීන්ට පසුගිය කාලය තුල අත්වු ඉරණම සෞඛ්‍ය ලේකම්වරයාට සිහිපත් කර සිටිමු.

ඒ අනුව මේ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් හා කරුණු දැක්වීමක් සෞඛ්‍ය ලේකම්වරයා විසින් වහාම ඉදිරිපත් කළ යුතුය.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගෙන ඇති ඉහත අත්තනෝමතික හා අනීතික උත්සාහය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ බලවත් අප්‍රසාදය හා විරෝධය කල කර සිටිමු. අදාල ලිපි වහාම ඉල්ලා අස් කරගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයා වෙත දැනුම් දෙමු.

එකඟත්වයන් උල්ලංඝණය කරමින් සිදුකරන මෙවන් කටයුතු සඳහා වෘත්තීය සංගමයක් ලෙස ගත හැකි උපරිම නෛතික හා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹිම සඳහා පසුබට නොවන බව බලධාරීන්ට අවධාරණය කරමු.