සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සාමාන්‍ය මිලදී ගැනීම් හිතාමතාම මගහරිනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සාමාන්‍ය මිලදී ගැනීම් හිතාමතාම මගහරිනවා

ඖෂධ ඇතුලු සෞඛ්‍ය සැපයුම් ගිඟය, ආර්ථික අර්බුධයේ ගැටළුවකට වඩා ජාවාරම් උවමනාව නිසා සිදුවන්නක් බවත්, සෞඛ්‍ය සැපයුම් සදහා සිදු කල වියදම ගණනය කිරීමේදී, ආර්ථික අර්බුධයට පෙර පැවති මුදලටත් වඩා විශාල ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනව අතර,  AIIB බැංකුව, ADB බැංකුව හා ලෝක බැංකුව  වගේ ආයතන ගණනාවකින් වෙනදාටත් වඩා ණය ආධාර ලැබිලා තියෙන අතරවාරයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුත්තන් ඖෂධ මිලදී ගැනීම් හිතාමතාම මග හරින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේස් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඖෂධ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඒකාබද්ධ සංගමය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවදීය.

 රවි කුමුදේස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,  ඉන්දියානු ණය ක්‍රමය, චීන ණය ක්‍රමය, ඇතුළු විවිධ ණය ආධාර, දෙස් විදෙස් පරිත්‍යාග ලැබිලා තිබෙනවා. ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ ඩොලර් මිලියන 35ක් තවමත් වියදම් කර ගන්න බැරිව ඉතුරු වෙලා තිබෙනවා.

නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍ය සැපයුම්කරුවන්ට බිලියන 40ක විතර ගෙවීම් පැහැර හැරලා තිබෙනවා. ඒ නිසාම සාමාන්‍ය සැපයුම් අඩාල වෙලා තිබෙනවා. දේශීය නිශ්පාදන සදහා ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා, නිෂ්පාදන අමු ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව, සමාගම් බංකොලොත් වෙමින් තිබෙනවා. ලැබෙන මුදලින් ඒවා ගෙවා දැමීමේ ක්‍රමයකට යා හැකි වුවත්, අළුත් සැපයුම්කරුවන් වෙත යෑමේ විශාල ගිජුකමක් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණ තුල ඉතා පැහැදිළිව ගැබ් වෙලා තිබෙනවා.

සාමාන්‍ය සැපයුම් අඛණ්ඩව පවත්වා ගැනීම වලක්වමින් සහ දේශීය නිශ්පාදන ක්‍රියාවලිය අඩපන කරමින්, හදිසි මිලදී ගැනීම්, තරගකාරී නොවන මිලදී ගැනීම් සහ එකම අවශ්‍යතාවය සදහා ඇණවුම් කිහිපයක් ඉදිරිපත් කිරීම සෞඛ්‍ය සේවාවේ අලුත්ම මාෆියාවේ විලාසිතාව වෙලා තිබෙනවා.

සාමාන්‍ය මිල දී ගැනීම් සිදු නොකට, හදිසි මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් කෙතරම් මුදලක් හානි වෙනවාද කියන එක පිළිබදව මුල්‍ය විඝණනයක් කරන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. වගවීම පැහැර හැරීමට එරෙහිව ජානාධිපතිවරුන්ට පවා දඩ ගහන යුගයක, සමාන්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තෙක් සිටිය යුතුයි.

නැවත නැවත ඇණවුම් ඉදිරිපත් කිරීමද හිතාමතා සිදු වන්නක්. පෙති සීයක් ඕනේ තැනට පෙති පන්සීයක් ඇණවුම් කරනවා. කොමිෂන් එක පස් ගුණයක් කරගන්න ඇතැම් අය සැලසුම් කරනවා. පළමු ඇණවුම ආවේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න කවුරුත්ම නෑ. සියළු ඇණවුම් සදහා සැපයුම් කලොත්, තව කෙටිකාලයකින් අපිට විශාල ඖෂධ අතිරික්තයකට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ලබා දුන් ඇණවුම් කැන්සල් කරන්න වෙනවා. එහෙම වුණොත් විශාල සමාගම් ප්‍රමාණයක් අමාරුවේ වැටෙනවා.

මේ මාෆියාවේ අලුත්ම කොටස විදිහට තමයි නිතරඟ මිලදී ගැනීම් (Unsolicited) වලට සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉන්දීයාවට යන්නේ වරයා අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන. නිතරඟ මිලදී ගැනීම් හරහා පාරවල් හදලා, ගොඩනැගිලි හදලා ගසා කාපු නිසා තමයි අපි රටක් විදිහට බංකොලොත් වුණේ. එහෙම රටක, සෞඛ්‍ය ඇමතිවරයා කියනවානම්, හොඳම ක්‍රමය ඒක කියලා, ඒක පිළිගන්න තරම්, ආණ්ඩුව මෝඩයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

වහාම මේ ක්‍රමය නවත්වන්න සාමාන්‍ය මිලදී ගැනීම් ක්‍රමයේ අඩුපාඩු නිවැරදි කරන්න. දේශීය නිශ්පාදන දිරි ගන්වන්න. වියදමෙන් 2/3 ඉතිරි කරන්න පුළුවන්. එහෙම බැරි නිළධාරීන් ඉවත් කරලා, පඩි දෙගුණයක් ගෙවලා හරි, කාර්‍යක්ෂම පාළණයක් හැදුවොත්, මේ ලැබෙන මුදලෙන් මහ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දීම අමාරු නැති බව දීර්ඝ වශයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ හා මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ, රජයේ කීටවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ, ලේකම්, ධර්මකීර්ති ඇපා,  ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයේ, සම සාභාපති, වෛද්‍ය කමල් ජයන්ත රාමනායක, රජයේ සෞඛ්‍ය කළමානාකාරවරුන්ගේ සංගමයේ, සභාපති, නාමල් ජයසිංහ, රජයේ  කීටවිද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික, සුසිල් තරුණසිරි, රජයේ සෞඛ්‍ය ගිලන්රථ සහ රියදුරු ප්‍රවාහන සංගමෙයේ සභාපති, ඩබ්. ඩී. විජේසිංහ, යන මහත්ම/මහත්මීන් අදහස් දක්වන ලදි.