පරිපූරක වෛද්‍ය සේවා නිලධාරිනුත් හෙට දින සීරුවෙන්

පරිපූරක වෛද්‍ය සේවා නිලධාරිනුත් හෙට දින සීරුවෙන්

පරිපූරක වෛද්‍ය සේවාවේ නිළධාරීන් මුහුණපා ඇති දුෂ්කරතා වලට අදාලව රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවධානය යොමු කරවා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම පිළිබඳ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ,  පරිපූරක වෛද්‍ය නිළධාරීන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමත් සියළු අමතර සේවාවන් සුපුරුදු ආකාරයෙන්ම පවත්වාගෙන යාමත් සිදු කරන අතර ආයතනික හා පෞද්ගලික වශයෙන් පැවැත්වෙන විරෝධතා, පෙළපාලි හෝ රැස්වීම් සඳහා සහභාගීත්වය හා නායකත්වය ලබාදීම සිදුකරන බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඕනෑම අර්බුධකාරී තත්වයකදී වුවද විසඳුම් ලබා දිය හැකි ගැටළු පවා විසඳීම වෙනුවට ඒවා කල් දැමීම, නොසලකා හැරීම හා ඊට ප්‍රතිවිරුද්ධව උගුල් ඇටවීම වැනි රාජ්‍ය සේවාවට උරුම අසම්මතයන් හේතුවෙන්ම අද වන විට සමස්ථ රාජ්‍ය සේවාවම දැඩි අර්බුධකාරී තත්වයකට ඇඳ වැටී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය තුලද මීට අදාලව උදාහරණ පවතින අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක වීම කෙරෙහිද මෙම වැරදි සම්ප්‍රදාය අත්හදා බලමින් තම පෞද්ගලික හා වෘත්තීමය ඒදිරිවාදී කම් පිරිමසා ගැනීමටත් අර්බුධය තුල පෞද්ගලික ව්‍යාපාර හැසිරවීමටත් උත්සහ කරන සමහර නිළධාරීන් හරහා මෙම තත්වය තවදුරටත් උග්‍ර වී ඇත.

මධ්‍යම රජය හා පළාත් සභා මට්ටමින් බඳවා ගැනීම්, උසස්වීම් වැනි කරුණු වලට අදාලව ගැටළු ඇති කරමින් දීර්ඝ කාලීන ලෙස අප වර්ජයන ක්‍රියාමාර්ග වෙත පොළඹවා ඇතත් තවදුරටත් සාකාච්ඡා මාර්ගයෙන් එකී ගැටළු විසඳීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇති අතර අදාල සියළුම තත්වයන් හා අප සේවාවන්ට බලපාන පහත ගැටළු මූලික කර ගනිමින් 2023.03.01 දින පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ විරෝධතාවයන් සඳහා පරිපූරක වෛද්‍ය සේවාවේ උපරිම සහය ලබා දීමට අප ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු

  • පරිපූරක වෛද්‍ය නිළදාරීන්ගේ පළමු පන්තියේ උසස්වීමට අදාල කළමණාකරන පුහුණුව පැවැත්වීමට බාධා ඇති වන පරිදි කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් පැවැත්වීමට බල කිරීම හා චක්‍රලේඛ නිකුත් කිරීම.
  • පරිපූරක වෛද්‍ය නිළධාරීන්ගේ බඳවා ගැනීමේ පටිපාටි සංශෝධය හා සේවා ව්‍යවස්ථාව සකස් කිරීම දීර්ඝ කාලීනව පමා කිරීම.
  • රසායනාගාර ප්‍රතික්‍රීයක හා ඖෂධ සැපයුම් ජාල බිඳ වැට්ටවීම, ඒවා යථා තත්වයට පත් නොකිරීම හා උපකරණ නඩත්තු කිරීමට අදාල ප්‍රතිපාදන නොමැති වීම මත සෞඛ්‍ය සේවාවන් බිඳු වැටීමට සැලැස්වීම.
  • සේවා අවශ්‍යතාවය මත සපයන සේවාවන් වලට අදාල දීමනා වෙනුවෙන් 15% කින් අතිකාල දීමනා කප්පාදු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම.
  • පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත නොකිරීම හා සුදුසුකම් සපුරා ඇති ඩිප්ලෝමාධාරීන් සඳහා පත්වීම් ලබා නොදීම.
  • රජයේ දුර්වල කළමණාකරන ගැටළු වලට අදාල පාඩු පියවා ගැනීම සඳහා අසාධාරණ ලෙස ඉහල නංවා ඇති ණය වලට අදාල පොලී, විදුලි ගාස්තු හා අනෙකුත් ජීවන වියදම් වෙනුවෙන් සහන ලබා නොදීම.
  • අත්‍යාවශ්‍ය සේවා හා ගැසට් නිකුත් කිරීම හරහා වෘත්තීය සමිති අඩපණ කිරීම හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්ධනය කිරීම

කෙසේ නමුත් පවතින තත්වය තුල ඉතා අපහසුවෙන් සෞඛ්‍ය සේවාව ලබා ගන්නා ජනතාව තවදුරටත් අපහසුතාවයන්ට ලක් වීම වැලැක්වීම සඳහා වැඩ වර්ජන කැඳවීම හෝ අසනීප නිවාඩු වාර්තා කිරීම වැනි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ නොවන බවත් පරිපූරක වෛද්‍ය නිළධාරීන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමත් සියළු අමතර සේවාවන් සුපුරුදු ආකාරයෙන්ම පවත්වාගෙන යාමත් සිදු කරන අතර ආයතනික හා පෞද්ගලික වශයෙන් පැවැත්වෙන විරෝධතා, පෙළපාලි හෝ රැස්වීම් සඳහා සහභාගීත්වය හා නායකත්වය ලබාදීම සිදුකරන බවත් අවධාරණය කර සිටිමි.