වත්මන් රාජ්‍ය මර්දනය කොන්දේසි විරහිතව හෙළා දකියි

වත්මන් රාජ්‍ය මර්දනය කොන්දේසි විරහිතව හෙළා දකියි

මැතිවරණය කල් තැබීමට එරෙහිව විවෘත විරෝධයකට ජනතාව කැඳවීමේ අයිතිය ද ඕනෑම කෙනෙකුට, සංවිධානයකට ඇති අතර, එම අයිතිය ජාතික ජන බලවේගයටද ඇති අතර, එය මූලික අයිතියක් බවත්, එය තහනම් කිරීමේ හෝ මර්දනය කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැති බව ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඉකුත් පෙබරවාරි 26 වන ඉරිදා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ තීන්දුවට එරෙහිව ජාතික ජන බලවේගයේ (ජ.ජ.බ) විසින් විරෝධතාවක් කොළඹට කැඳවා තිබිණ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ සමාජයේ මත බෙදීම් ඇත. එවැනි මත වෙනස්කම් මෙය අත්සන් කරන අප අතර ද ඇත. ඒ මත බෙදීම් අනුව අදහස් ඉදිරිපත් කිරීමේ වෙනස්කම් ද ඇත. මත වෙනස්කම් තිබියදී මැතිවරණය කල් තැබීමට එරෙහිව විවෘත විරෝධයකට ජනතාව කැඳවීමේ අයිතිය ද ඕනෑම කෙනෙකුට, සංවිධානයකට ඇත. ජ.ජ. බ. ද ඒ අයිතිය ඇති අතර, ඊට සහභාගිවීමේ අයිතිය ජ.ජ.බ. මතයට එකඟවන සියල්ලන්ට ඇත. ඒ අයිතිය මූලික අයිතියකි. එනිසා එය තහනම් කිරීමේ හෝ මර්දනය කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැත.

එවැනි විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව පැහැදිළි තීන්දුවක ඉන්නා බව පසුගිය මාස කිහිපයේ විශාල පොලිස් බලයක් යොදමින් කඳුළු ගෑස් සහ අධිබල ජල ප්‍රහාර දියත් කරමින් ගෙන ගිය මර්දනය මගින් ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව සමාජයට ලබා දුන් පණිවිඩය විය. ඒ වෙනුවෙන් ලොවම හෙළා දකින සහ අහෝසි කළ යුතු යැයි බල කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමත් පොදු දේපළ ආරක්ෂා කිරීමට යැයි අධිකරණ සහාය පැතීමත් දැන් මර්දනයේ තවත් පැතිකඩක් වී ඇත. එවැනි පියවර මර්දනය පුළුල් කිරීමක් වශයෙන් ආරම්භයේ සිට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන අප සංගම්  හෙළා දුටුවෙමු.

අවාසනාවකට පසුගිය ඉරිදා විරෝධය සඳහා කොළඹට පැමිණි ජනතාවගෙන් පිරිසක් ආණ්ඩුවේ මර්දනයට මුහුණ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් එක් තුවාලකරුවකු වූ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස හඳුන්වන නිවිතිගල නිමල් අමරසිරි සහෝදරයා පසුදින සඳුදා මිය ගොස් ඇත. මිය ගිය නිමල් අමරසිරි සහෝදරයාට අප සංගම්වල ආචාරය මෙයින් පුද කරන අතර, ඔහුගේ පවුලේ සියල්ලන් වෙත අපගේ සංවේගය පළ කරමින් රෝහල්ගත සියල්ලන්ට ඉක්මන් සුවය පතමු.

එවගේම, අප සංගම් නැවත අවධාරණය කරනුයේ අදහස් ප්‍රකාශ කිරීමත් විරෝධය පෑමත් ජනතාවගේ මූලික අයිතියක් ලෙස සැළකීමට ආණ්ඩුව පසුබට වුවහොත් මෙවැනි හෝ වෙනත් ආකාරයක හෝ මර්දන විසින් මේ සමාජය අස්ථාවර කිරීමට හේතු විය හැකි බවත් ආර්ථිකය යළි ගොඩ ගැනීමට ආණ්ඩුව ලබා දෙන පොරොන්දු ඒ සමග හිස් පොරොන්දු පමණක් වන බවත් ය.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත සඳහන් වෘත්තීය සමිති වන්නේ,

  • නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා වෘත්තිය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ලංකා වතු සේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය