ඛනිජ තෙල් සේවකයින්ගේ රැකියා අහිමි කරන්න සූදානමක්?

ඛනිජ තෙල් සේවකයින්ගේ රැකියා අහිමි කරන්න සූදානමක්?
ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
 
එහි දී අදාළ විනය ක්‍රියාමාර්ග කඩ කරන අයවලුන්ව රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග පර්යන්ත ගබඩාවේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.
 
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරමින් එහි සේවකයින් ඊයේ (28) පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන ලදී.
 
කෙසේ වෙතත්, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටියි.
 
වෘත්තිය සමිති පෙරේදා (27)  පෙරවරුවේ ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට දී සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කල අතර ඊයේ දහවල් පැවති සාකච්ජාවකින් පසු සියලුම සේවා කටයුතුවලින් ඉවත්වීමට කටයුතු කළ බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියේය.
 
වර්ජනයේ නිරත වෘත්තිය සමිති විසින් ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ තිබු සියලුම බවුසර රථ පිටතට ගෙන එමට ක්‍රියාකළ බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසා තිබුණි.
 
ඒ හේතුවෙන් ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමට පැමිණි බොහෝ ටැංකි රථ රියදුරන් අපහසුතාවයට පත්වු බව වාර්තා වේ.
 
මෙරට සිල්ලර වෙළද පොලට ඉන්ධන නිකුත් කිරීම සඳහා චීනය, ඔ්ස්ටේලියාව සහ ඇමරිකාවේ සමාගම් තුනකට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ඒ්වා නම්  චීනයේ සයිනොපෙක් ෆුයෙල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම, ඕස්ටේ්‍රලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාක්ස් යන සමාගම්ය.