මර්ධනය වහා නවතනු - රාජ්‍ය ආයතනවල ආයෝජනය කර ඇත්තේ මහජන මුදල්ය

මර්ධනය වහා නවතනු - රාජ්‍ය ආයතනවල ආයෝජනය කර ඇත්තේ මහජන මුදල්ය

ආණ්ඩුවේ අත්තනෝමතික තීන්දු ගැනීම් සහ සේවක මර්දනය හෙළා දකිමින් වෘත්තීය සමිති ඒකාබද්ධ නවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, රාජ්‍ය ව්‍යාපාරවල ආයෝජනය කර ඇත්තේ මහජන මුදල් ය. “ප්‍රතිව්‍යුහගත කිරීම” යන ලේබලය යටතේ රාජ්‍ය ව්‍යාපාර ලෙස සැළකෙන මහජන දේපල එනිසා හිතුවක්කාර ලෙස අලෙවි කිරීමට ආණ්ඩුවට අයිතියක් නැතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය මෙසේය,

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ එහි උප සමාගමක් වන ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් පිරිසක් (මාර්තු 28) දින උදය වරුවේ ඉන්ධන ක්ෂේත්‍රයට අදාලව ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දු ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවක් පැවැත්වූහ. ඊට ප්‍රතිචාර වශයෙන් වෘත්තීය සමිති නායකයින් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බවත්, ඔවුන්ට මෙම ආයතනවල සේවා භූමිවලට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක කෙරෙන ලෙස තහනම් කර ඇති බවත් මෙම ආයතන දෙකෙහි සභාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවෙහි දැනුම් දී තිබිණ. එළෙස පියවර ගන්නා මෙන් ඔවුන්ට නිර්දේශ කර තිබූයේ ඉන්ධන හා බලශක්ති ඇමතිවරයා විසින් ය.

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාවට හිමි ඉන්ධන හල් 450 ක් පමණ විදේශ සමාගම් 03 ට පවරා දීමට තීන්දු කිරීමත් සමග රටේ ඉන්ධන බෙදා හැරීම සහ අලෙවිය තරගකාරී ලෙස පවත්වා ගැනීමට හැකිවේ යැයි තර්ක කෙරෙන අතර, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය සහ රක්‍ෂණය ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 150 ක් පමණ පෞද්ගලික ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමට ලැයිස්තුගත කෙරෙන්නේ යැයි ද මාධ්‍ය වාර්තා ඇත. ඊට පෙරාතුව ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල්ස්, හිල්ටන් හොටෙල් වැනි සමාගම්වල රාජ්‍ය ආයෝජන අලෙවි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවක විරෝධතාව ආරම්භ කෙරුණේ ඒ පසුබිමෙහි ය. එවැනි විරෝධතා අත්‍යාවශ්‍ය සේවා නියෝග යොදා ගනිමින් තහනම් කිරීමත්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දඩයම් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා ආණ්ඩුවක විසඳුම් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්ඨ සම්පන්න සමාජයකට එකඟවිය හැකි පියවර ද නොවේ.

රාජ්‍ය ව්‍යාපාරවල ආයෝජනය කර ඇත්තේ මහජන මුදල් ය. “ප්‍රතිව්‍යුහගත කිරීම” යන ලේබලය යටතේ රාජ්‍ය ව්‍යාපාර ලෙස සැළකෙන මහජන දේපල එනිසා හිතුවක්කාර ලෙස අලෙවි කිරීමට ආණ්ඩුවට අයිතියක් නැතැයි අපි කියමු. ආණ්ඩුවලට ඒවා නිසියාකාරව කළමනාකරනය කිරීමට නොහැකි වූයෙන් ඒවායේ සිදුවන පාඩු සඳහා ගාස්තු හා මිල වැඩිපුර ගෙවන්නේ ද මහජනතාව ය. එනිසා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම් තනිව තීන්දු කිරීමට ආණ්ඩුවට අයිතියක් නැත. ඒවායේ පාලන ව්‍යුහ කොයි ආකාරයෙන් වෙනස්විය යුතු දැයි තීන්දු කළ යුත්තේ වෘත්තීය සමිති හා පාරිභෝගික සමාජයේ නියෝජනයක් සහිත සාකච්ඡා මගින් යැයි අපි අවධාරණය කරමු. එවැනි සූදානමක් ආණ්ඩුවේ නොමැතිවිට ඊට එරෙහිව තම විරෝධය ප්‍රකාශ කිරීමට පූර්ණ අයිතියක් සේවක සේවිකාවන්ට පමණක් නොව මහජනයාට ද ඇත.

ඒ අයිතිය භාවිත කිරීමට එරෙහිව ආණ්ඩුව ගනු ලැබ ඇති මර්දනකාරී තීන්දු හා බලහත්කාර විශ්‍රාම යැවීම් වහා ඉවත් කරගන්නා මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.

එවගේම මේ මොහොතේ අප අවධාරණය කරනුයේ, මේ ආණ්ඩුවේ මෙවැනි විනාශකාරී තීන්දුවලට එරෙහි වීමට සහ ජනතාවාදී තීන්දු සමගින් මහජන දේපළ ඵලදායී ලෙස පවත්වා ගැනීමට හැකි වන්නේ වෘත්තීය සමිති විසින් ගොනු කර ගන්නා සමාජ හවුලක් සමගින් බව ය. ඒ වෙනුවෙන් වෘත්තීය සමිති නොපමාව පියවර ගත යුතු යැයි අපි යෝජනා කරමු. 

01. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

02. ලංකා වෘත්තීය සමිති සම්මේලනය

03. ලංකා බැංකු සේවක සංගමය

04. අන්තර් සමාගම් සේවක සංගමය

05. නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා

06. ලංකා ජාතික වතු කම්කරු සංගමය

07. එක්සත් කම්කරු සම්මේලනය