ලංකා බැංකු සේවක සංගමය තම සාමාජිකයින්ට සුභසාධක ප්‍රතිලාභ

bank-union
  • මාතෘදාරක, ශිෂ්‍යත්ව, විශ්‍රාම ප්‍රණාම හා මරණාධාර ලෙස රුපියල් මිලියන 20 ක් සාමාජික සුභසාධනය වෙනුවෙන් වැය කෙරේ
  • සේවක රැකියා සුරක්‍ෂිතතාවත්, බැංකු පද්ධතියේ ආරක්‍ෂාවත් සලසමින් ඉහළම සුභසාධන ප්‍රතිලාභ දෙන එකම වෘත්තීය සංගමය ලංකා බැංකු සේවක සංගමයයි

අභියෝග සමග ඇරඹි 2022 වසර

2022 වසර ආරම්භ වූයේම ශ්‍රී ලංකාවට ඉතාමත් අර්බුද රාශියක් සමගය. නාමික නිදහසින් පසු මෙරට ආර්ථිකයේ මෙන්ම සමාජයීය හා දේශපාලනික අර්බුදයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස 2022 වර්ෂය හැඳින්විය හැක. නිදහසින් පසු වරින් වර පත්වූ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති මත ක්‍රමිකව අර්බුදයට යමින් තිබී 2020-2021 වසරවල ඇතිවූ කෝවිඩ් - 19 ව්‍යසනයත් නිසි ආර්ථික හා දේශපාලන කළමනාකරණයක් ලබානොදීම තුළ විදේශ වත්කම් සිඳීයාමත් හේතුවෙන් මුළු රටම කණපිට හැරෙන්නට විය. රටේ සමස්ත ජනතාවට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් පවා සපයා ගැනීමට නොහැකි විය. තිබෙන සම්පත් පවා කළමනාකරණයකර ගැනීමට රාජ්‍ය පාලකයෝ අසමත් විය. ජීවන බරෙන් හා බලශක්ති අර්බුදයෙන් පීඩා විඳි සාමාන්‍ය ජනතාවගේ පීඩනය අවසානයේ මහජන අරගලයක් ලෙස පුපුරා යන්නට විය.

සාමාන්‍ය ජනතාවගේම කොටසක් වූ බැංකු සේවකයන් නියෝජනය කළ අප සංගමය විසින් ද  මාතෘභූමියේ ගමන්මග නිවැරදි දිශානතියකට යොමු කිරීම උදෙසා මතවාදීව හා ක්‍රියාකාරී ලෙස අරගලයට පණ පොවන ලදී. එහිදී හුදු දේශපාලන අරමුණකින් තොරව වැඩ කරන පන්තිය නියෝජනය කරමින් අප සංගමය විසින් ඉටු කරන ලද කාර්යභාරය ඉතිහාස පොත්වල මේ වනවිටත් සනිටුහන් වී හමාරය.

ආර්ථික අර්බුදයකදී දැඩිව බලපෑම් එල්ලවන බැංකු ක්‍ෂෙත්‍රය තවදුරටත් සුරැකිව තබා ගැනීමටත් කිසිදු සේවක අයිතිවාසිකමක් කප්පාදුවකින් තොරව පවත්වා ගැනීමටත් හැකිවී තිබෙනුයේ අප සංගමයේ ඉමහත් දායකත්වය හා පරිශ්‍රමය තුළය.

එමෙන්ම රාජ්‍ය  බැංකු පද්ධතිය පෞද්ගලීකකරණය කිරීම සඳහා යෝජනා කරලියට පැමිණෙමින් තිබෙන කාලවකවානුවක එය තීරණාත්මකව පරාජය කිරීමට සංගමය නායකත්වය ලබාදෙමින් ඇත. රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීම තුළින් ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙන්වීමට උත්සාහ ගත්ත ද ආණ්ඩුවේ ඇත්ත උවමනාව  තම ගජ මිතුරන්ට මෙරට ජනතාවගේ බැංකු කොටස් ලබාගැනීමට ඉඩ හසර විවරකර දීම යන සත්‍යය, සමාජය හමුවේ හෙළිදරව් කිරීමටත් අප සංගමය මේ වනවිටත් කටයුතු කරමින් සිටී.

එමෙන්ම ද්‍රවශීලතාව, අක්‍රමික ණය වැනි ගැටලු රාජ්‍ය, පෞද්ගලික භේදයකින් තොරව සමස්ත බැංකු පද්ධතියටම බලපාන බවත්, විසඳුම විය යුත්තේ රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීම නොව රටේ ආර්ථිකයේ මතුව ඇති ගැටලු සඳහා පොදුවේ විසඳුම් ලබා දීම බවත් සියලු බලධාරින් වෙත සංගමය මේ වන විටත් අවධාරණය කර ඇත.

2022 වසර අගභාගය වනවිට ඉතාමත් අත්තනෝමතික ලෙස රජය විසින් ස්ථාපිත කරන ලද බදු සංශෝධනවලට වෘත්තිකයින් ඇතුළු වැඩ කරන ජනතාවට එකඟවිය හැකි පරිදි එම බදු යෝජනා සංශෝධනය කරවීමට සංගමය ඉමහත් කාර්යභාරයක් මේ වන විටත් සිදු කරමින් සිටී. විටක මතවාදීව සාමාජිකත්වය හා සමාජය දැනුමෙන් සන්නද්ධ කරන අතරතුර බොරු නින්දට වැටී සිටි පාලකයන් එම නින්දෙන් අවදිකරවීමේ සටන්වලට පණ පොවමින් ද ඒ තුළ සාමාජිකත්වයට උපරිම සාධාරණයක් ලබාදීමට කටයුතු කරමින් සිටී.

මේ ආකාරයෙන් සාමාජික සුරක්‍ෂිතතාව, බැංකු පද්ධතියේ ආරක්‍ෂාව මෙන්ම සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් රටට නිවැරදි මගපෙන්වීමක් කරමින් කටයුතු කරන අතරතුර සාමාජික සුභසාධනය කෙරෙහි ද අප සංගමය ඉමහත් කාර්යභාරයක් සිදුකර ඇත.

වසර 80 ක් පුරාවට ශ්‍රී ලාංකීය බැංකු පද්ධතියත්, බැංකු සේවකයනුත් ආරක්‍ෂා කරන ලද, වර්තමානය මෙන්ම අනාගතයේදී ද එම කාර්යය නොපිරිහෙලා ඉටුකරනු ලබන දැවැන්තම ස්වාධීන වෘත්තීය සංගමය වන ලංකා බැංකු සේවක සංගමයට 2022 වර්ෂයේ දී සාමාජික සුභසාධන යෝජනාක්‍රම යටතේ ප්‍රතිලාභ රැසක් ලබාදීමට හැකියාව ලැබුණි. එය මූල්‍යමය වශයෙන් ගත්විට රුපියල් මිලියන 20 ක් ඉක්මවා ගිය අගයක්ය. නමුත් එහි රුපියල් අගයට සීමා නොවුණු මානුෂීය වටිනාකමක් පවතින බව අපි තරයේ විශ්වාස කරමු.

වෘත්තීය සංගමයක දැවැන්ත සාමාජික ප්‍රතිලාභ

  • උතුම් මව් පදවියට උරුමකම් කියන මොහොතේ දී එයට උපහාරයක් පිණිස මාතෘදාරක දීමනාව හඳුන්වා දී ඇත. 2022 වසර තුළ අප සාමාජිකාවන් 307 දෙනෙකුට මෙම ප්‍රතිලාභය ලබාදී ඇති අතර එය මූල්‍යමය අගයක් ලෙස රුපියල් මිලියන 1.6 කට අධිකය.
  • 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලුම සාමාජික, සාමාජිකාවන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව හා සහතික පත් පිරිනමන අතර එහිදී ඉහළම සාමාර්ථ ලබාගත් දු පුතුන් 10 දෙනෙකුට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. ඉදිරි විභාග ජයගැනීම සඳහා දිරිගැන්වීමක් වශයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් අසමත් බව නොසලකා විභාගයට මුහුණ දුන් සියලුම දරු දැරියන් අගැයීම මෙහි ඇති සුවිශේෂීම ගුණාංගයකි. 2020 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දූ පුතුන් 224 දෙනෙකු අගැයීමට ලක්කරමින් රු. 800,000/= කට ආසන්න මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදී ඇත.
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම සාමාර්ථ ලැබූ, සාමාජික සාමාජිකාවන්ගේ දූදරුවන් 10 දෙනෙකුට විශේෂ ශිෂ්‍යත්ව හා සහතික පත් පිරිනමනු ලබයි. 2020 වසරේ එම විභාගය සඳහා පෙනී සිට ඉහළ සාමාර්ථ ලැබූ දූ පුතුන් 182 දෙනෙකු 2022 වර්ෂය තුළ අගැයීමට ලක් කර ශිෂ්‍යත්ව පිරිනැමුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 01 ක මුදලක් වැය කරන ලදී.
  • අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළ සාමාර්ථ ලැබූ, සාමාජික සාමාජිකාවන්ගේ දූ පුතුන් හට ද ශිෂ්‍යත්ව හා සහතිකපත් පිරිනැමුනු අතර විශිෂ්ඨම සාමාර්ථ ලබාගත් 10 දෙනෙකුට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනැමුනි. 2020 වර්ෂයේ විභාගයට පෙනී සිටි උසස් පෙළ සමත් දූ පුතුන් 86 දෙනෙකු 2022 වර්ෂයේ දී අගැයීමට ලක්කළ අතර ඒ සඳහා රු. 800,000/= ට ආසන්න මුදලක් ශිෂ්‍යත්ව ලෙස ලබාදෙන ලදී.
  • ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරමින් සිට ඉසිඹු ලද සියලුම සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සංගමය සිය උපහාරය පුද  කරනු ලබයි. එලෙස විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ සහෝදර, සහෝදරියන් විසින් සංගමය වෙත කරන ලද දායකත්වය උදෙසා සිහිවටනාත්මක තිළිණයක් ලබාදීම සිදුකරනු ලබයි. 2019 හා 2020 වසර තුළ දී එලෙස ඉසිඹු ලද 625 ක් වූ සහෝදර සහෝදරියන් පිරිසකට 2022 වර්ෂයේ උපහාර පිදූ අතර ඒ සඳහා සංගමය රුපියල් මිලියන 3.8 ක මුදලක් වැය කරන ලදී.
  • සාමාජිකයකුගේ වියෝව ඔහුගේ හෝ ඇයගේ කුටුම්භයට පමණක් නොව අප සංගමයට ද පිරිමැසිය නොහැකි පාඩුවකි. සාමාජික වියෝවක දී සංගමය විසින් වර්තමානයේ දී රුපියල් මිලියන 01 ක මුදලක් එම පවුල වෙත මරණාධාර ලෙස පිරිනමනු ලැබේ. සාමාජිකයා ජීවත්ව සිටිය දී මෙන්ම හදිසි වියෝවක දීද ඔහුගේ හෝ ඇයගේ පවුලට යම්කිසි හෝ අස්වැසිල්ලක් ලබාදීම මෙහි අරමුණයි. 2022 වර්ෂය තුළ දී අප සංගමය රුපියල්  මිලියන 11.5 ක මුදලක් මරණාධාර ලෙස ලබාදී ඇත.

2022 වර්ෂයේ ජූලි මස 08 වැනි දින පැවැත්වූ සංගමයේ 13 වන ජාතික නියෝජිත සම්මේලනයේ දී මාතෘදාරක, ශිෂ්‍යත්ව ප්‍රදාන හා මරණාධාර යන සියලු දීමනා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමීමට ඒකමතිකව අනුමත කරන ලදී.

මෙවැනි අභියෝගාත්මක කාලසීමාවක සේවක අයිතිවාසිකම් රකිමින්, බැංකු පද්ධතිය සුරක්‍ෂිත කරමින්, එල්ලවන දැවැන්ත අභියෝගයන්ට නොපැකිලව මුහුණ දෙමින් මෙවන් වූ සුවිශේෂී සුබසාධන ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබාදීමට හැකිවීම පිළිබඳව අප සංගමයක් ලෙස නිහතමානීව ආඩම්බර විය යුතුව ඇත.  ඒ මක්නිසාද යත් අද අප රට තුළ මෙවැනි වූ කාර්යභාරයක් සිදුකළ හැකි එකම වෘත්තීය සංගමය වනුයේ ඔබ අප නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය පමණක් නිසාවෙනි.

අතීතයේ සිට අද දක්වා සිදුකරන ලද පරිදි, ඉදිරි අනාගතයේදීත් සියලු ප්‍රතිලාභ ද, බැංකු පද්ධතිය ද ආරක්‍ෂාකර ගනිමින් ලංකා බැංකු සේවක සංගමයේ ධජය තව තවත් ඉහළට ඔසවා තබන්නට සමස්ත සාමාජිකත්වය කටයුතු කළ යුතුව ඇති බව පෙන්වා දෙමු.

බැංකු පද්ධතිය සුරකිමු - සේවක ප්‍රතිලාභ රැක ගනිමු ! ලංකා බැංකු සේවක සංගමය දිගුකල් දිනේවා !