එන්නත් හා ප්‍රතිජීවක ඖෂධ තවම මිලදී ගැනීමට තීරණයක් නෑ - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

එන්නත් හා ප්‍රතිජීවක ඖෂධ තවම මිලදී ගැනීමට තීරණයක් නෑ - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ආසියානු සංවර්ධන බැංකුව හරහා ගැන්සයික්ලෝවියන් (Ganzyclovien) නැමැති ප්‍රතිවෛරස එන්නත හා ලිනොසොලිඩ් ( Linezolid) නැමැති ප්‍රතිජීවක ඖෂධය මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කිරීම පමණක් සිදු කර ඇති බැවින් එම ඖෂධ මිලදී ගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ වන විට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තාක්ෂණික ඇගැයීම් කමිටුව විසින් ලංසු ඇගයීමට ලක් කරමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාර මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පෙන්වා දෙයි. එමෙන්ම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ඖෂධ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් උපරිම සිල්ලර මිල ගණන් නියම කර ඇති අතර ඒ අනුව ගැන්සයික්ලෝවියන් (Ganzyclovien)  එන්නත සඳහා රුපියල් 8,500 ක මුදලක් නියම කර තිබේ.

මේ අනුව අදාළ ඖෂධ එම මිල ගණන් ඉක්මවා ඉහළ මිල ගණන් යටතේ රුපියල් 7000/= ක එන්නත  රුපියල් 77,000 කට හා රුපියල් 200 ක ප්‍රතිජීවකය රුපියල් 2200 ටද මිලදී ගැනීමට යන බවට ඇතැම් සංගම් විසින් නගන චෝදනාවන් පදනම් විරහිත බවත් එය මුළුමනින්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම රජයේ මිල ගණන් යටතේ පමණක් සිදු වන්නක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා පෙන්වා දෙයි.

මේ අතර මෙම සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළ අදාළ සංගමය එමගින් අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශයන් සිදු කරමින් මේ මොහොතේ ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එමෙන්ම  (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ඖෂධ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙහි එක් ඖෂධයක් මේ වන විට මෙරටට ලැබෙමින් පවතින බවයි. එනිසා ආසියානු සංවර්ධන බැංකු අරමුදල යටතේ අදාළ ඖෂධය මිලදී ගැනීම වහා අත්හිටුවන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.