මානව අයිතීන් අගයන ජීවිත සුරක්ෂාව සඳහා එක්සත් මැයි දිනයකට ආරාධනා කරයි

මානව අයිතීන් අගයන ජීවිත සුරක්ෂාව සඳහා එක්සත් මැයි දිනයකට ආරාධනා කරයි

විධිමත් හා අවිධිමත් ක්‍ෂෙත්‍රයන්හි සියලු ශ්‍රමිකයින්ගේ සාමකාමී අනාගත සුරක්ෂාව සඳහා වන පොදු ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්නාවූ එක්සත් මැයි දිනයක් පැවැත්වීමටත්, “මානව අයිතීන් අගයන ජීවිත සුරක්ෂාව සඳහා එක්සත් මැයි දිනය” ලෙස මෙවර මැයි දිනය පැවැත්වීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ, සමලේකම් ඇන්ටන් මාකස් මහතා (FTZ Union) යෝජනා කරමින් ආරාධනා කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ආරාධනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඉතිහාසයේ කවරදාවත් මුහුණ නොදුන් ගැඹුරු සමාජ ආර්ථික අර්බුදයක කොටුවී ඉන්නා සියල්ලන්ට ඒ සඳහා සාර්ථක විසඳුම් ලබන්නට යෝධ එකමුතු ශක්තියක් අවශ්‍ය යැයි අප සංගමය විශ්වාස කරමු. එබැවින් තනි තනිව තමන්ට සීමාවූ ඉල්ලීම් සමග මැයි දිනය පැවැත්වීමේ යුගය අවසන්ව ඇතැයි අප සංගමයේ තේරුම් ගැනීමය. මේ සමාජ ආර්ථික බංකොලොත් භාවයට මුහුණ දෙන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහන ණය සමග වන ප්‍රතිව්‍යුහගත කිරීම්, ප්‍රතිසංවිධාන ඉදිරිපත් කෙරෙන්නේ දැඩි මර්දනකාරී වාතාවරණයක් සමගින්ය. කල් තැබූ ප්‍රති ත්‍රස්ත පනත ද ආණ්ඩුව අත හරිනු ඇතැයි සිතිය නොහැක. හැම රාජ්‍ය සේවාවක්ම දැන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම මර්දනයේ එක පැත්තක් පමණි.

එබැවින් දැන් එළැඹ ඇත්තේ විධිමත් හා අවිධිමත් ක්‍ෂෙත්‍රයන්හි සියලු ශ්‍රමිකයින්ගේ සාමකාමී අනාගත සුරක්ෂාව සඳහා වන පොදු ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්නාවූ එක්සත් මැයි දිනයක් පැවැත්වීම ය. “මානව අයිතීන් අගයන ජීවිත සුරක්ෂාව සඳහා එක්සත් මැයි දිනය” ලෙස මෙවර මැයි දිනය පැවැත්වීමට ඒ අනුව අප සංගමය යෝජනා කරමු.

සියලු ශ්‍රමිකයින්ගේ පොදු ඉල්ලීම්

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් පසු දශක දෙක තුනක විදේශ ණය කන්දරාව ගෙවා ගැනීමේ නොහැකියාව සමග බංකොලොත් තත්ත්වයට පත්වූ අපගේ ජීවිත අනාරක්ෂාව, ආදායම් අහිමිවීම් සම්බන්ධ දැන් ඕනෑ තරම් තොරතුරු හා දත්ත ඇත. නාගරික දුප්පත්කම මේ වනවිට සියයට 54ක් 55ක් යැයි කියති. ග්‍රාමීය දුප්පත්කම සියයට 35 ක් පමණ හා වැවිලිකරයේ දුප්පත්කම සියයට 45 ක් පමණ යැයි විවිධ සංවාදවල සඳහන් වන්නේය. ඒ අනුව රටක් හැටියට දළ වශයෙන් දැන් සියයට 45 ක් පමණ දුප්පතුන්ය.

දුප්පත් යැයි අප කතා කරන්නේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම වැටුපක් ආදායමක් නැති රටේ ජනගහනයෙන් දෙකෙන් පංගුවකට ආසන්න පවුල් ගැන ය. ඔවුන්ට ඔවුන්ගේ ආහාර වේල දිනපතා සකසා ගැනීමේ සහතිකයක් නැති අවාසනාවන්ත තත්ත්වයක් ගැනය. ආහාර සුරක්ෂාවක් නැති රටක ජීවිත සුරක්ෂාවක් තිබිය නොහැක. එවැනි රටක මර්දනය අනිවාර්ය වන බැව් මෑත ඉතිහාසයේ ඕනෑ තරම් අත්දැකීම් ඇත. “මානව අයිතීන්ද ඇගයෙන ජීවිත සුරක්ෂාව” සඳහා මෙවර එක්සත් මැයි දිනයක් සාධාරණය කෙරෙන්නේ එබැවිනි. ඒ වෙනුවෙන් සියලු ජනකොටස් එකතුකර ගැනීමට සිදුව ඇත්තේ වෘත්තීය සමිති සක්‍රීයව ගොඩ නගා ගන්නා එක්සත්කම සමගින්ය.

මේ වන විට පැරණි සාම්ප්‍රදායික වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පවතින තත්ත්වයට මුහුණ දිය නොහැකි යැයි ද, එනිසා සියල්ලන්ට පොදු ජීවන සහන සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මක් සඳහා වන ඉල්ලීම් වෙනුවෙන් රොද බඳින එක්සත් මැයි දිනයක් බවට මෙවර මැයි දිනය පත්කර ගත යුතු යැයි ද අප සංගමය විශ්වාස කරමු.

වැඩිවන ජීවන වියදම සඳහා වැඩි වැටුප් ඉල්ලීම් වෘත්තීය සමිති ඉතිහාසයේ සාර්ථක විසඳුමක් නොවුනු බව පිළිගත යුතුය. එනිසා පසුගිය කාලයේ හැම විටම කලින් වාරයට වඩා වැඩි වැටුප් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපට සිදු විය. අතට ගන්නා වැඩි වැටුප මාස කිහිපයක් ඇතුළත වාෂ්පවීමේ අත්දැකීම අප කාගේත් පොදු අත්දැකීමකි. හැම වැටුප් වැඩිවීමක්ම රටේම ජනතාව අපහසුතාවට දමන උද්ධමනයට දායක වූ බවත් අප පිළිගත යුතුය. විශේෂයෙන් මේ පවත්නා සමාජ ආර්ථික අර්බුදයෙහි සාම්ප්‍රදායික වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමෙන් කිසිවකුට ගොඩ යාමට ඉඩක් නැත. 

එනිසා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ගිවිස ගෙන ඇති ඒකාබද්ධ තනි ජාලයක් ලෙස අලුතින් ප්‍රතිසංස්කරණය කරන්නාවූ “සමාජ ආරක්ෂණ ජාලය” ක්‍රියාත්මක කිරීමේ පදනම හා නිර්ණායක හුදෙක් සමෘද්ධි, වැඩිහිටි දීමනා ආදී රජයේ ආධාර ලබන ජනතාවට පමණක් සීමා නොවන ලෙස තීන්දුකරවා ගැනීමට අප සමාජ බලයක් ගොනුකර ගත යුතුය. මේ වනවිට ආහාර සුරක්ෂාව බරපතල අනතුරකට පත්ව ඇති, මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ බරපතල අපහසුතාවන්ට පත්ව ඉන්නා සියලු ශ්‍රමිකයින්ගේ අනාගත සුරක්ෂාව ද මේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ද සහතික කෙරෙන අයුරු මේ මැයි දිනයේදී අපගේ යෝජනා ඉදිරිපත් කළ යුතු යැයි අප සංගමය යෝජනා කරමු.

ඒ අනුව,

  1.  “සමාජ ආරක්ෂණ ජාලය” ප්‍රතිසංස්කරණය කිරීමේදී සහන ලැබීමේ මූලික සුදුසුකම පවුලේ මාසික වැටුප හෝ උපයන ආදායම රුපියල් 70,000 ක උපරිමයකට යටත් කළ යුතුය.
  2. ඊට අයත්වන සියල්ලන්ට මුදලින් ආධාර කිරීම වෙනුවට දෙසතියකට වරක් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහිත රුපියල් 10,000 ක සහන මල්ලක් ග්‍රාම සේවා නිලධාරි මගින් ලබා දිය යුතුය.
  3. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුල සහනලාභීන් තේරීම - මේ වනවිට ඉල්ලුම් පත් පිරවීම අන්තර්ජාලය හරහා සිදුව ඇති හෙයින් ඉතිරි කාර්ය ග්‍රාම සේවා නිලධාරීන්ට භාර දිය යුතුය. කිවූ-ආර් කේතය යොදාගෙන පිරිසිදු කරනු ලබන රුපියල් 70,000 ට අඩු මාසික ආදායම් ලබන පවුල් ලේඛනය ග්‍රාම සේවා වසමෙහි ප්‍රසිද්ධ කර එහි ඇතුළත් ප්‍රතිලාභීන්ගේ සුදුසු නුසුදුසුකම් වේ නම්, ඒ බැව් සතියක් ඇතුළත ග්‍රාම සේවා නිලධාරී මහතාට හෝ මහත්මියට දැනුම්දීමේ අයිතිය එම වසමේ පදිංචිකරුවන්ට ලබා දිය යුතුය. අනතුරුව එවැනි දැනුම්දීම් අනුව සංශෝධිත ලේඛනය සතියක් ඇතුළත ග්‍රාම සේවා නිලධාරී විසින් අදාල වසමේ පදිංචිකරුවන්ගේ රැස්වීමකදී අනුමත කර ගත යුතුය.
  4. පෞද්ගලික අංශයේ සේවකයින් 50 ට වැඩි සෑම අපනයන නිෂ්පාදන සමාගමකින්ම යුරෝපයට කෙරෙන අපනයන වෙනුවෙන් ලබන්නාවූ ජී.එස්.පී අධි සහනයේ සේවක පංගුව වශයෙන් සෑම සේවකයෙකු වෙනුවෙන් මාසිකව රුපියල් 1,000 ක් සමාජ ආරක්ෂණ ජාලය සඳහා අයකර ගැනීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුය.
  5. සේවක අර්ථසාධක අරමුදල යොදා ගනිමින් සියලු සක්‍රීය සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 03 ක සහ ඔවුන්ගේ සියලු යැපෙන්නන්ට රුපියල් ලක්ෂ 02 ක වාර්ෂික සෞඛ්‍ය රක්ෂණයක් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සමග සාකච්ඡාකර ලබා දිය යුතුය. (සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලින් හැම ආණ්ඩුවක්ම විශාල වශයෙන් ණය ලබා ගෙන ඇති අතර, එම ණය මුදල් පසුගිය වසර 20 ක පමණ කාලයේ විශ්‍රාම ගිය සාමාජිකයින්ගේද මුදල් වන හෙයින් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදුවන පාඩුව වෙනුවෙන් එම කාලයේ විශ්‍රාම ගිය සියලු දෙනාට යම් වන්දියක් ගෙවිය යුතු බවද අවධාරණය විය යුතුය)
  6. පුද්ගල ආදායම් බද්ද රුපියල් 2,50,000 ක මාසික ආදායමකින් ආරම්භ කළ යුතු අතර රුපියල් 5,00,000 දක්වා ආදායම් බද්ද සියයට 05 ට නොවැඩි විය යුතුය. (රුපියල් 3,50,000 දක්වා ආදායම් බදු අය කළ යුත්තේ රු. 2,50,000 ට වැඩි ආදායම වෙනුවෙන් සියයට 04 ක් සහ රු. 5,00,000 දක්වා බදු අය කළ යුත්තේ රු. 3,50,000 ට වැඩි ආදායම සඳහා සියයට 05 කි)
  7. රුපියල් 5,00,000 සිට 10,00,000 දක්වා පුද්ගල ආදායම් බද්ධ සියයට 08 ක්ද එතැන් සිට 15,00,000 දක්වා සියයට 12 ක් ද ඉන්පසු වැඩිවන හැම රුපියල් ලක්ෂ 5,00,000 ටම සියයට 05 බැගින් ආදායම් බද්ද වැඩි කළ යුතු අතර රුපියල් 35,00,000 ට වැඩි ආදායම් සඳහා සියයට 38 ක ආදායම් බද්දක් අය කළ යුතුය.
  8. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමග යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ද ඉවත් කරන මෙන් ද සේවා ප්‍රශ්න විසඳීම වෙනුවට හිතුවක්කාරී ලෙස අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි යොදා ගැනීම හෙළා දකින අතර, අත්‍යාවශ්‍ය සේවා පැනවූ ගැසට් පත්‍ර ඉවත්කර ගන්නා මෙන් ද බල කළ යුතුය.
  9. ආයෝජකයින් ආකර්ශනය කිරීමට යැයි මේ වන විටත් කම්කරු කාන්තාවන් සේවයේ යෙදවීම පිළිබඳව තිබූ ආරක්‍ෂණ නීති සංශෝධනය කර ඇති අතර ජාවාරම්කාරයින්ගේ සිතැඟි පරිදි සේවකයින් සේවයට බඳවා ගැනීමට සහ ඉවත් කිරීමට මෙන්ම මෙතෙක් භුක්ති විඳි පැය 08 වැඩ දිනය අහෝසි කරමින් අතිකාල ගෙවීමකින් තොරව අමතර පැය ගණනක් වැඩ ගැනීමට ඒකීය කම්කරු නීතිය නමින් ගෙන ඒමට බලාපොරොත්තු වන කම්කරු නීති සංශෝධන සියල්ල වහා අත්හිට විය යුතුය.