ජාතික අක්ෂි රෝහලෙහි ශල්‍යකර්ම නවතී

ජාතික අක්ෂි රෝහලෙහි ශල්‍යකර්ම නවතී
  • පටන් ගන්න දිනයක් නෑ, රෝගීන්ට වග කියන්න කෙනෙක් නෑ
  • ශල්‍යාගාරයට විෂබිජයක් ගිහිං, කරන්න දෙයක් නෑ, හදපු දවසක එන්න" එහෙම කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් මොකටද?

රෝහල් පිටින් වැහෙන එක, වාට්ටු වහලා දාලා යන එක, බෙහෙත් නැතුව හරවලා යවන එක, පරීක්ෂණ නොකර පුළුවන් විදිහට කරගෙන එන්න කියන එක, අද රෝහල් වල සමාන්‍යයෙන් සිදුවන අසාමාන්‍ය තත්ත්වයක් වෙලා.

අක්ෂි රෝහලේ ශල්‍යකර්ම කෙරෙන්නේ නෑ කියලා රෝගීන්ට දැනුම් දීලා තියනවා. පහුගිය කාලේ පුරාම කරන්න ඕනේ ශල්‍යකර්ම වලින් 50%වත් කෙරුණේ නෑ. පණ ඇද ඇද පෞදගලික අංශයට හොඳ ටික තල්ලු කරමින් ඉතුරු ටික පොරොත්තු ලේඛණවලට දාපු එක තමා දිගටම කෙරුණේ. දැං සේරම නතර කරලා. මේ නතර කිරීමෙන් අවසාන වශයෙන් රෝගියෙකුගේ ජීවතය පවා නතර වෙන්න පුළුවන්. කවුද ඒකට වගකියන්නේ? වර්ජනයක් කරපු වෙලාවට ලෙඩ්ඩු ගැන කිඹුල් කඳුලු හෙලන අය මේ වෙලාවේ කොහේද ඉන්නේ?

ශල්‍යාගාරයට විෂබීජයක් ගිහිංළු. හදන දවසක් කියන්න බෑලු. ශල්‍යාගාරයකට නිකන්ම විෂබීජ ඇතුලු වෙන්නේ නෑ. ඒවා පාළනය කරන්න විශාල පිරිසක් යොදවලා ඉන්නවා. ඒ නිසා මේවා සිදුවුණු විදිහ සෞඛ්‍ය අමාත්‍යාංශය විදිමත්ව හොයලා බලන්න ඕනේ. කවදාහරි ශල්‍යාගාරය අරිනකං ලෙඩ්ඩු හරවලා යවලා උඩ බලාන ඉන්නේ නැතුව, ඒ වෙනුවට විකල්ප ක්‍රමයක් ලෙඩ්ඩුන්ට ලබා දෙන එක සෞඛ්‍ය අමාත්‍යංශයේ එම අංශය වෙනුවෙන් පත් කරලා ඉන්න නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ වගකීමක්. ඔහුට ඒ වැඩේ පවරන එක සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ ආණ්ඩුවේ වගකීමක්. වැඩකට ගනන්නේ නැති, පෞද්ගලක රෝහලක එකක් හරි පවරගෙන, මගහැරන ශල්‍යකර්ම ටික අඛණ්ඩව සිදුකෙරෙන ක්‍රමයක් ලබා දුන්නේ නැත්තං පොරොත්තු ලේඛණ, රෝගීන්ගේ ජීවිත කාලයට වඩා දිග වේවි.

මේවා නොදැක්කා වගේ ඉන්නේ, සැලසුම් සහගතව නිදහස් සෞඛ්‍ය සේවාව වලපල්ලට යවන්නද කියන කියන එක අපි සෘජුව ප්‍රශ්ණ කරනවා.

‍|රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය