අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකිමු

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකිමු

අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස දෙකක පමණ කාලක් ගත වී තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව විසින් සාධනීය  පිළියමක් ලබා නොදෙන ලදී. එසේ තිබියදී 2023.04.19 දින පැවති රැස්වීමකදී උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා නොකරන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීම පසෙක තබා කිසිදු ජන බලයක් නොමැතිව බලයට පත්ව සිටින ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය ලංකා ගුරු සංගමය තරයේ හෙළා දකින බව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ උත්තපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නොදැමීම මත ගුරුවරු ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ඉල්ලුම් නොකිරීම හා විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටීම මත මේ වන විටත් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

පිළිතුරු පත් ඇගයීම වෙනුවෙන් ගුරුවරුන්ට ගෙවන දීමනා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් යොමු කොට අනුමැතිය ලබා ගත්තද ජනාධිපතිවරයා යටතේ පවතින මහා භාණ්ඩාගාරය විසින් එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නොකර, මාස දෙකක පමණ කාලයක් ගත වූ පසු උසස් පෙළ දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ජනාධිපතිවරයෙක් ඒ වෙනුවෙන් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ සිදු කිරීමට බරපතල කනගාටුදායක තත්ත්වයකි.

එසේම උසස් පෙළ විභාගයේ ගුණාත්මක භාවය රදවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු පාලක පරීක්ෂවරු ලෙස සිටීම අවශ්‍යව තිබියදී ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳා පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවට ඔවුන් නොමැතිව පිළිතුරු පත් ඇගයීම සිදු කරන්නේ නම් එය බරපතල ගැටලුවකි.

පෙළ පොත් ලබාදීම සම්පූර්ණ නොකිරීම, නිළ ඇඳුම් රෙදි සම්පූර්ණයෙන් ලබා නොදීම, 30000 කට ආසන්න ගුරු හිඟයක් අධ්‍යාපන පද්ධතියට තුළ පැවතීම, පාසල්වල ගුණාත්මක යෙදවුම් ඇතුළු කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබා නොදීම ආදී අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කර නොමැති තත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සිදු කරන්නේ නම් එම තත්වයට එරෙහිව මෙරට ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය පළ කිරීමට කටයුතු යොදන බව ද ප්‍රකාශ කර සිටිමු.

මේ තත්වය තුළ ආණ්ඩුව විශ්ව විද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමත්, පිළිතුරු පත් පරීක්ෂා කරන ගුරුවරුන්ගේ දීමනා ප්‍රමාණවත් ලෙස ලබාදීමත් මගින් උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.

සබැඳි පුවත්