හාම්පුතුන්ගේ සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ද ?

හාම්පුතුන්ගේ සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය ද ?

හාම්පුතුන්ගේ සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා විසින් කම්කරු අමාත්‍යවරයා විසින් “මහජන අදහස් ලබා ගැනීම සඳහා” යැයි ඔහුගේ තේරීම් අනුව ඉකුත් මැයි 10 වන දින උදය වරුවේ කැඳවන ලද ආරාධිතයින්ගේ රැස්වීමකට සහභාගිවී “ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවට වාර්තා වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා වෙත ලිපියක් යවමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් විමසීමක් කර ඇත.

එම ලිපියෙන් වැඩිදුරටත් විමසා ඇත්තේ,

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කම්කරු නීති සංශෝධනයට නිල වශයෙන් මැදිහත්වීම සම්බන්ධයෙනි

මේ රටේ කම්කරු නීති සියල්ල තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය වෙනුවෙන් වත්මන් කම්කරු ඇමතිවරයා විසින් “මහජන අදහස් ලබා ගැනීම සඳහා” යැයි ඔහුගේ තේරීම් අනුව ඉකුත් මැයි 10 වන දින උදය වරුවේ කැඳවන ලද ආරාධිතයින්ගේ රැස්වීමකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කම්කරු නීති සම්බන්ධ උපදේශක ලෙස නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා සහභාගිවී ඇත.

ඔහු විසින් ඇමතිවරයාගේ එම උත්සාහය ඉමහත් අගය කිරීමකට ලක් කර, “ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය සහාය ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බවට” සහතික වූ බව එදිනම සවස 5.08 ට දිනමිණ පුවත් පතේ අන්තර්ජාල ප්‍රකාශනයෙහි “කම්කරු නීති සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පූර්ණ සහාය” මැයෙන් වන සිරස් තලය යටතේ වාර්තාකර තිබිණ. එම වාර්තාව එළෙසින්ම වෙනත් අන්තර්ජාල පුවත් අඩවිවලද පළකර තිබිණ.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කඩිනම් අවධානය යොමු කළ යුතු යැයි අප සංගමය විශ්වාස කරන අතර, ඒ සඳහා ඉතා කෙටියෙන් මෙළෙස කරුණු පැහැදිළි කළ යුතු යැයි සිතුවෙමු.

  1.  කම්කරු නීති තනි නීතියක් ලෙස සංශෝධනය කිරීමට මීට පෙර උත්සාහ කරනු ලැබූයේ  යහපාලන ආණ්ඩුව විසින් 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිස ගත් ණය සහනාධාර වැඩසටහන යටතේය. ඒ වෙනුවෙන් “යුඑස්ඒඩ්” ආයතනය මූල්‍ය ආධාර හා තාක්ෂණික සහාය ලබා දුන්නේය. අපගේ කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් එවැනි විදේශීය මැදිහත්වීම් ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික කම්කරු උපදේශක සභාව (භඛ්ක්‍) නියෝජනය කළ වෘත්තීය සමිති ප්‍රතික්‍ෂෙප කළ බැවින් එය අත්හිටුවන්නට එදා ආණ්ඩුවට සිදුවිය.
  2. මෙවරද කම්කරු නීති සංශෝධනය ඇමතිවරයා විසින් කඩිනම් කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වශයෙනි.
  3. එනිසාම ඇමතිවරයාගේ මෙම නීති සංශෝධන ව්‍යාපෘතිය ත්‍රෛපාර්ශවීය නිල ජාතික කම්කරු උපදේශක සභාව (භඛ්ක්‍) වෙත ඉදිරිපත් කර එහිදී පළමුව සාකච්ඡා කළ යුතු යැයි අප සංගම් මීට මාස කිහිපයකට පෙර ඉල්ලා සිටි නමුත් ඇමතිවරයා විසින් එය නොසළකා හැර ඇති අතර ජාතික කම්කරු උපදේශක සභාව කැඳවීම ද මග හැරියේය.
  4. ඇමතිවරයාගේ මෙම නීති සංශෝධන උත්සාහය විවෘතව හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදු නොකෙරෙන හා ඇතැම් හාම්පුතුන්ගේ වුවමනාවන්ද අන්තර්ගත කිරීම වෙනුවෙන් සිදු කරන්නක් ලෙස වෘත්තීය සමිති විසින් එය ප්‍රතික්‍ෂෙප කරනු ලැබූවකි.
  5. “මහජන අදහස් ලබා ගැනීම” ලෙස නම් කෙරුණු එම රැස්වීමට ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිත වෘත්තීය සමිති 14 අතුරින් සහභාගීවී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවලට සම්බන්ධකම් ඇති වෘත්තීය සමිති 03 ක් පමණි.
  6. ආයෝජකයින් ගෙන්වා ගැනීමට මෙම කම්කරු නීති යාවත්කාලීන කිරීමට අවශ්‍ය යැයි කෙරෙන තර්ක කිරීම, කිසිදු ආයෝජකයෙකු මෙතෙක් ප්‍රකාශ කර නැති අතර, එය ඉල්ලා සිටින්නේ මෙරට දේශීය ජාවාරම්කරුවන් පමණි.
  7. අපගේ කම්කරු නීතිවලට වඩා සෘජු හා සේවක කේන්ද්‍රීය නීති ක්‍රියාත්මක කෙරෙන වියට්නාමයෙහි සැම්සුං, එල්ජී, කැනන්, හොන්ඩා, ටොයෝටා වැනි “ෆෝචුන් 500” සමාගම් ආයෝජනය කර තිබීමෙන් පෙන්වන්නේ, ඉහළ තාක්ෂණය සමග බැර ආයෝජන ලංකාවට නොපැමිණීමට හේතුව සේවක සුරක්ෂාව සඳහා වන කම්කරු නීති නොව, දූෂිත ආණ්ඩු පාලන සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ සේවා සැපයුම් සතු ඌණතා බවය. මේ වනවිට ඇති දේශපාලන අස්ථාවරත්වයද එයට දැන් හේතු වන්නේය.

ඒ සමග මෙම කරුණු ද සටහන් කළ යුතුව ඇත.

  • නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා කලක් හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අයෙකි.
  • ඔහු කම්කරු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් වන එකල කම්කරු කොමසාරිස් ජනරාල් සහ ඇතැම් හාම්පුතුන් සමග ඉතා සමීපව කටයුතු කළ අයෙකි.
  • අනතුරුව ඔහුට හාම්පුතුන්ගේ සම්මේලනයෙන් ඉවත් වන්නට යැයි දන්වා ඇත්තේ අප දන්නා තරමින් අයථා කටයුතු සම්බන්ධ චෝදනා හේතුවෙනි. එම චෝදනා සම්බන්ධව දැනට පරීක්ෂණ පැවැත්වෙන බවද දැන ගන්නට ඇත.

එවැනි පසුබිමක අප දැඩි කණස්සල්ලකට පත්ව ඇති හෙයින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පහත කාරණා සම්බන්ධ පැහැදිළි කිරීම් බලාපොරොත්තු වෙමු.

  1. ඇමතිවරයාගේ මෙම කම්කරු නීති සංශෝධන ව්‍යාපෘතියට සහාය දක්වන ලෙස කම්කරු ඇමතිවරයා හෝ කම්කරු අමාත්‍යාංශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කෙදිනක හෝ නිල වශයෙන් ආරාධනා කර තිබේද?
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් ලෙස දැනට ක්‍රියාත්මක කම්කරු නීති සංශෝධන ව්‍යාපෘතියට පූර්ණ සහාය දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිල වශයෙන් තීන්දු කර තිබේද?
  3. එකී සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කිරීමේ අවසරය නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතාට නිල වශයෙන් පවරා තිබේද?
  4. කම්කරු නීති සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කෙදිනක හෝ සාකච්ඡාකර තිබේද? එසේ නම් ඒ කවර කාරණා සම්බන්ධයෙන්ද? 

කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් එවැනි කිසිදු ගනුදෙනුවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් කම්කරු ඇමතිවරයා හෝ කම්කරු අමාත්‍යාංශය සමග ඔබලාට නොමැත්තේ නම්, මේ රටේ මිලියන 08 ට වැඩි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ඉහතින් සඳහන් මාධ්‍ය වාර්තා නොපමාව නිවැරදි කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන මෙන් අප සංගමය ඉතා ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.