අපට අවශ්‍ය කම්කරු නීති මිස වහල් නීති නොවේ

අපට අවශ්‍ය කම්කරු නීති මිස වහල් නීති නොවේ
  • කම්කරුවන් වැටුප් ශ්‍රමයේ වහලුන් බවට පත් කරන කම්කරු නීති සංශෝධනවලට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන විරුද්ධ වෙයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන, රැකියා සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂණය සහතික කරන ශක්තිමත් කම්කරු නීති රාමුවක් ඇත. විවිධ අර්බුද මධ්‍යයේ වුවද මෙම නීති මගින් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ඇත. මෙම නීතිවලට අතිරේකව, වෘත්තීය සමිති විසින් ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි, රැකියා ස්ථානවලදී කම්කරුවන්ට කරන හිරිහැරවලට එරෙහි නීති, කොන්ත්‍රාත් සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කිරීම සඳහා සහ වෘත්තීය අනතුරු ආරක්ෂණ නීති පැනවීම සඳහා අඛණ්ඩව සටන් කර ඇත. පවතින කම්කරු නීති නිසි ලෙස ක්‍රියාත්මක කරන සහ කාර්යක්‍ෂම කම්කරු දෙපාර්තමේන්තුවක් සඳහා ද වෘත්තීය සමිති බලපෑම් කර ඇත.

කරුණු එසේ තිබියදීත්, කම්කරු නීති “නම්‍යශීලී“ බවට පත් කරන ලෙස සේවා යෝජකයින් නිරන්තරයෙන් ඉල්ලා සිටී. කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමකින් තොරව තමන්ට රිසි සේ සේවකයන් “දොට්ට දැමීමේ“ අයිතිය ඔවුන්ට තිබිය යුතු බවට හාම්පුතුන් තර්ක කරයි. අතිකාල ගෙවීම් නොගෙවා සිටීමට බාධා නොවන පරිදි වැඩ කරන වේලාවන් නියම කිරීමට ඇති අයිතිය මෙන්ම සේවා යෝජකයන්ගේ වියදමින් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමවලට ගෙවීමට සිදු වීම ගැන  පැමිණිලි කරයි. එසේම “සම අයිතිවාසිකම්“ ලබා දීමේ  මුවාවෙන් රාත්‍රී සේවය සඳහා කාන්තා ශ්‍රමය සූරා කෑමට උත්සාහ කරයි. සේවා යෝජකයින් විසින් යෝජනා කරන “නම්‍යශීලී“ වැඩ ක්‍රමයක් යන්නෙන් අදහස් වන්නේ කාන්තාවන් සඳහා ඇති මාතෘවරුන් ලෙස ඇති ආරක්ෂාව ඉවත් කිරීම, “අර්ධ කාලීන රැකියා“ මුවාවෙන් ළමා ශ්‍රමය ලබා ගැනීම සහ ජීවත්වීමට නොහැකි අසරණයින්ගේ හා වැඩිහිටියන්ගේ ශ්‍රමය අඩු වැටුපකට සූරාකෑමයි. සේවා යෝජකයින් තමන්ට රිසි පරිදි වැටුප් නියම කිරීමට සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් අහිමි කිරීමට ඇති නිදහස සඳහා තවදුරටත් බලපෑම් කරමින් සිටී.

කම්කරුවන්ගේ රැකියා සුරක්‍ෂිතභාවයට අභියෝග කරන හාම්පුතුන්ගේ මෙම පීඩනය නිසා කම්කරුවන්ට අහිතකර මෙම කම්කරු නීති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට රජය කඩිමුඩියේ ක්‍රියා කරයි. 2023 අප්‍රේල් 03 වැනිදා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ මහා සභා රැස්වීමේදී ප්‍රකාශ කළේ “ආයෝජකයන්ට වාසිදායක වන පරිදි කම්කරු නීති සංශෝධන කරණ” බවයි. එසේම අපගේ කාර්මික නීති “විසිරුණු හා සංකීර්ණ” බවත් ඒවා ඒකාබද්ධ කිරීම “දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීම සඳහා අත්‍යවශ්‍ය පියවරක්” බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇතැයි වාර්තා වේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සේවා යෝජකයන් හා සේවකයන් අතර ඇති වන ආරවුල් සේවකයන් සහ හාම්පුතුන්ම විසඳා ගතයුතු බවයි, වෙනත් වචනවලින් කිවහොත් කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යයන් අනවශ්‍ය බවයි.

අපගේ කම්කරු නීති ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට බාධාවක් බව රජය ප්‍රකාශ කළද, ‘2018 ශ්‍රී ලංකාවේ වර්ධනය විශ්ලේෂණය‘ නම් වූ හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක සඳහන් වන්නේ, “ශ්‍රී ලංකාවේ පවතින ශක්තිමත් ශ්‍රම ප්‍රමිතීන් ආයෝජකයින් සහ ආචාරශීලී නිෂ්පාදන අගය කරන සන්නාමයන් බොහෝ විට ආකර්ෂණය කර ගන්නා බවයි”. වාර්තාව විශේෂයෙන් ශක්තිමත් ශ්‍රම ආරක්ෂණයන් හඳුනා ගන්නේ ආයෝජකයන් ආකර්ෂණය කරන්නක් ලෙස මිස වැළැක්වීමක් ලෙස නොවේ. එමනිසා දැන් අවශ්‍ය වන්නේ කම්කරුවන් සඳහා වන ආරක්ෂාවන් ඉවත් කිරීමට වඩා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ මාර්ග පිළිබඳ තාර්කික විශ්ලේෂණයකි.

කම්කරු නීතිවලට ඇත්තේ කාර්යයන් දෙකක් පමණි: සේවා යෝජකයන්ගේ සූරාකෑමෙන් කම්කරුවන් ආරක්ෂා කිරීම සහ යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි වන පරිදි කම්කරුවන්ගේ ශ්‍රමයට සාධාරණ වැටුප් සහතික කිරීමයි. මෙම මූලික සම්මතයන් උල්ලංඝනය කරන ඕනෑම කම්කරු නීති සංශෝධනයක් වහල්භාවයට සමාන සේවා කොන්දේසි වලින් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෘත්තීය සමිති ලබා ගෙන ඇති ජයග්‍රහණ ආපසු හරවනු ඇත. නීති

“නම්‍යශීලී“ බවට පත් කිරීම සඳහා සේවා යෝජකයින් විසින් යෝජනා කර ඇති වර්තමාන කම්කරු නීති සංශෝධන, කම්කරු නීති පනවන ලද හේතු වලට සෘජුවම පටහැනිය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට රැකියා සුරක්‍ෂිතභාවය වඩාත් අවශ්‍ය වන මෙම අර්බුදකාරී අවස්ථාවේදී කම්කරුවන්ට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කිරීමට ගන්නා මෙම කාලෝචිත නොවන පියවර නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

(වෘත්තීය සමිති එකමුතුව විසින් බෙදාහරින ලද පත්‍රිකාවකි)