රාජකාරි මුදල් ගෙවා අවසන් නොකලහොත් විභාගවලට බාධා විය හැකියි

රාජකාරි මුදල් ගෙවා අවසන් නොකලහොත් විභාගවලට බාධා විය හැකියි

සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාවල රාජකාරි කළ නිලධාරීන්ට එම රාජකාරි සඳහා මේ දක්වා සම්පූර්ණ මුදල් ප්‍රමාණය ගෙවා අවසන් කර නොමැති බවත්, මෙම මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරි විභාග කටයුතු සඳහා බරපතල බලපෑමක් විය හැකි බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පසුගිය කාලයේ පැවති සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාවල රාජකාරි කළ නිලධාරීන්ට එම රාජකාරි සඳහා මේ දක්වා සම්පූර්ණ මුදල් ප්‍රමාණය ගෙවා අවසන් කර නොමැත. මේ වන විට එසේ විභාග රාජකාරි වෙනුවෙන් නොගෙවා ඇති මුදල රුපියල් බිලියන 2.5 ක පමණ මුදලකි. මේ වන විටත් මෙම මුදල් ගෙවා නොතිබීම ඉදිරි විභාග කටයුතු සඳහා බරපතල බලපෑමක් විය හැකිය.

මේ වන විට පැවති උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව දීර්ඝ කාලයක ප්‍රමාදයකින් පසු විෂයයන් කිහිපයක ආරම්භ කර ඇත. එහෙත් පොරොන්දු වූ පරිදි එම රාජකාරි කටයුතුවල නිරත වන පිරිස් සඳහා අත්තිකාරම් මුදලක් ලබා නොදීම හේතුවෙන් අද දින (2023.05.15) මධ්‍යස්ථාන 13 කට ආසන්න ප්‍රමාණයක රාජකාරි ආරම්භවීම ප්‍රමාද විය. විභාග දෙපාරත්මේන්තුව මෙහිදී පොරොන්දු වූයේ අද සහ හෙට දිනවල මෙම අත්තිකාරම් මුදල් ගෙවා අවසන් කරන බවයි. එසේ පොරොන්දු වූ පරිදි එම අත්තිකාරම් මුදල් ගෙවීම සිදු නොවුනහොත් එම රාජකාරි සඳහා ද බලපෑමක් වනු ඇත.

එසේම 2022 සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 දින ආරම්භ වීමට නියමිතව ඇත. මේ ආකාරයට ජාතික විභාගවල කටයුතු ගණනාවක් තිබියදී හා ඒවා දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබියදීත් තවදුරටත් පැවති විභාග රාජකාරි සඳහා මුදල් නොගෙවීමෙන් එම කටයුතු තවදුරටත් අඩාල වීමට ඉඩ ඇත.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර ඉදිරි විභාග කටයුතුවලට බලපෑමක් සිදු නොවන පරිදි ඉතා කඩිනමින් පැවති විභාගවල රාජකාරි සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.