නව පාසල් වාරයත් සමග ඩෙංගු වැළැක්වීමට පාසල්වලට උපදෙස්

නව පාසල් වාරයත් සමග ඩෙංගු වැළැක්වීමට පාසල්වලට උපදෙස්
  • පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීමේදී  විශේෂ අවධානයට ලක් විය යුතු  ස්ථාන කිහිපයක් ගැන අනාවරණයක්.

එළඹෙන සඳූදා පාසැල් අධ්‍යයන වාරය ඇරඹීමට පෙර සෙනසුරාදා සහ ඉරිදා පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීම අගය කල යුතුයි. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් වලදී ගස් අතු කැපීම හා අතු ගෑමට පමණක් අවධානය යොමු නොකොට ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරී ළහිරු කොඩිතුවක්කු මහතා පවසයි.

සාමාන්‍යයෙන් වැඩි පිරිසකගේ අවධානය යොමු නොවන එහෙත් ඩෙංගු මදුරුවන් බෝ වීමට හැකි ස්ථාන කිහිපයක් සමීක්ෂණ වලදී හඳුනාගෙන තිබේ,

කලක් තිස්සේ පරිහරණය නොකල හෝ අබලන්ව පවතින වැසිකිලි ඇතැම් පාසැල්වල තිබිය හැකිය.එබඳු වැසිකිලි සිස්ටන් ක්‍රියාත්මක තත්වයේ පවතී නම් ඒවා ක්‍රියාත්මක කර ජලය යොදා හොඳින් සෝදා (flush) හැරීම කල යුතුය. ක්‍රියාකාරී නැති අත් හැර දැමූ වැසිකිලි වල ජලය රැඳී තිබෙන ස්ථාන තිබිය හැකිය.

ඇතැම් පාසැල් පරිශ්‍ර වල ජලය එකතුවන කුඩා ටැංකි හෝ අලංකාරය පිණිස සකස් කල කුඩා පොකුණු වැනි ස්ථාන තිබේ. ඒවායේ ජලය ඉවත්කර මතුපිට පෘෂ්ට හොඳින් අතුල්ලා පිරිසිදු  කල යුතුය. එසේ කටයුතු නොකර දැනට ඇති ජලය ඉවත් කිරීමෙන් පමණක් සෑහීමට පත් විය නොහැකිය.

පසුගිය දිනවල විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසැල් මෙන්ම එසේ යොදා නොගත් පාසැල් වල පාසැල් පරිශ්‍ර වල පවා පිරිසිදු කරන අයගේ ඇස නොගැටුනු ප්ලාස්ටික්, පොලිතින් අපද්‍රව්‍ය පැවතීමට හැකිය. නිසි විමසිල්ලෙන් සම්පූර්ණ පාසැල් පරිශ්‍රයම පරීක්ෂා කරමින් හෙට සහ අනිද්දා යන දෙදින පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නම් ඩෙංගු මදුරුවන් බෝ වීමට හැකි එබඳූ තැන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රමදානය අවස්ථාවේදීම ඉවත් කල නොහැකි එබඳු ද්‍රව්‍ය පසුව හැකි ඉක්මනින් පාසැල් පරිශ්‍රයෙන් ඉවත් කරන තුරු තබා ගන්නේ නම්  වහලකින් ආවරණය වූ ස්ථානයක තැබීම වැදගත් වේ. එම ද්‍රව්‍ය ආශ්‍රිතව ජලය පිරී මදුරුවන් බෝවීමේ අවදානම එමගින් වැලැක්විය හැකිවෙයි.

පාසැල් වත්ත ගැන අවධානය යොමු කරන අතර තුර  ගොඩනැගිලි තුලද ජලය සුළු වශයෙන් හෝ රැඳී තිබෙන ස්ථාන හෝ බඳුන් තිබිය හැකිය. එසේම සුහුඹුල් මදුරුවන් දැනටමත් රැඳී සිටීමට හැකි කළු හෝ තද පැහැ තිර රෙදි ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර එම මදුරුවන් ඉවත් කිරීම කල  යුතු යැයි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.