විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන වෙනස් තීන්දුවක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන වෙනස් තීන්දුවක්
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
 
 විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බලරහිතකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176දෙනෙකු විසින් ගොනුකරනු ලැබූ රිට් පෙත්සමක් ඊයේ (27) සලකා බැලු අවස්ථාවේදී මේ බව අනාවරණය වූ බව අප වාර්තාකරු පවසයි.
 
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණි.
 
එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවයි.
 
මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පවසා ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව සඳහන් කළේය.
 
කෙසේ වෙතත් ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්  මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (28) කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.