නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83කට රතු එලි

නොදන්වා විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83කට රතු එලි
අමාත්‍යාංශයට නොදන්වා  විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ (තෘතීක සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේදී (කෝපා කමිටුව) අනාවරණය කර තිබේ.
 
මේ අතර පුහුණුවීම් සහ වෙනත්  අවශ්‍යතා සඳහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර  ඇති බව පැවසූ අධ්‍යක්ෂවරයා විදේශ පුහුණුවෙන් පසු  මාණ්ඩලික සහතිකය ලබා  විශේෂඥ වෛද්‍යවරයකු  බවට මෑතදී පත්වුණු  250 දෙනකුගෙන්  50 දෙනකු  රැකියා සඳහා  විදේශ ගතව ඇතැයිද   සඳහන් කළේය.
 
මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත්, නොදන්වා ගියපු අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන  බවත්  ප්‍රියන්ත අතපත්තු මහතා කෝපා කමිටුව හමුවේ කියා සිටියේය.
 
මෙසේ  විදේශගතවූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත්,  එම ලිපිය නිකුත් කර මාසයකදී  නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ නියෝගය නිකුත් කරන බවත්  මෙහිදී ඔහු විසින් අනාවරණ්‍ය කර ඇත.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා රැස්විය. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
 
මේ අතර වෛද්‍යවරුන් 677 දෙනකු මේ වසරේ මැයි මස 31  වනවිට විදේශ පුහුණුවට ගොස් සිටි බවත්, ඒ අය ඉදිරි වසර දෙකේදී   නැවත පැමිණිය යුතු  බවත්  ඔහු පෙන්වා දුන්නේය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන  පවසා ඇත්තේ මොවුන් යළි පැමිණෙන තෙක් තහවුරැ කළ නොහැකි බව හා  විශේෂඥ වෛද්‍යවරුන් නොපැමිණියහොත් කුඩා රෝහල්වලට බලපෑමක් ඇතිවිය හැකි බැවින් මේ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතු බවයි.