ලංගම විනාශ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන ජනපතිට ලියයි

ලංගම විනාශ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ගැන ජනපතිට ලියයි

පාඩු ලබන බවට සාවද්‍ය ප්‍රකාශයන් සිදුකරමින් ඇතැම් බස් ඩිපෝවන් වසා දමා ශ්‍රී ලංගමය විනාශ කරලීමේ ජාතික අපරාධය වැලක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ මොහොත වන විට ශ්‍රී ලංගම සේවකයින්ට සහ ශ්‍රී ලංගමයට බරපතල ප්‍රශ්ණ, ගැටලූ රාශියකට මුහුණ දීමට සිදුවී ඇත.  ශ්‍රී ලංගම සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් බලහත්කාරයෙන් අයකර ගැනීම, ලක්‍ෂයකට වඩා වැටුප් ලබන සේවකයන්ගෙන් අසාධාරණ ලෙස බදු අයකර ගැනීම, ශ්‍රී ලංගමය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට මැදිහත් වීම, පාසල් ළමුන්ට ලබාදෙන වාර ප්‍රවේශපත්‍රවලට අයකරන මුදල 25% කින් වැඩිකිරීම, ශ්‍රී ලංගම සේවකයන්ට ලබාදෙන සියලූම සුබසාධාන ක්‍රියාවලිය අත්හිටුවීම යන ක්‍රියාවන් I.M.S. ආයතනයේ උවමනාව මත වර්තමාන ප්‍රවාහන ඇමතිවරයා ඇතුලූ ප්‍රවාහන බලධාරීන් විසින් සිදුකරමින් සිටී.  මීට අමතරව වර්තමාන ප‍්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංගමය තුල ඇති පාඩු ලබන ඩිපෝවන් වසා දමන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම ප්‍රකාශයේ පිටපතක් ඔබතුමාගේ විශේෂිත අවධානය සඳහා අමුණා එවන්නෙමු.

ශ්‍රී ලංගමය යනු මුදල් උපයන ආයතනයක් නොව සේවාවක් කරනු ලබන ආයතනයකි. අධ්‍යාපන, සෞඛ්‍ය, තැපැල් යන ආයතන හා සමානවම ශ්‍රී ලංගමය ද සේවාවක් කරනු ලබන ආයතනයක් ලෙස වර්තමාන ප්‍රවාහන ඇමති ඇතුලූ ප්‍රවාහන බලධාරීන් සැබෑ ලෙසම පිළිගෙන ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් විධිමත්ව ලබාගැනීමට මැදිහත් නොවීම නිසා ශ්‍රී ලංගමයේ ආදායම් අඩුවී ශ්‍රී ලංගමය ක්‍රමනුකූලව විනාශ වීමට ලක්වී ඇත. ශ්‍රී ලංගමය සේවාවක් කරනු ලබන ආයතනයක් ද මුදල් උපයා ලාබ ලබාගත යුතු ආයතනයක්ද යන්න පිළිබඳව ප්‍රවාහන ඇමතිවරයා මේ මොහොතේ වගකීමෙන් යුතුව අනිවාර්යයෙන් සමස්ත ජනතාවට ප්‍රකාශයක් සිදුකළ යුතු බව අප සංගමයේ අදහසයි.

ගරු ජනාධිපති තුමනි, ඉහත කරුණු පිළිබඳව ඔබතුමා සැලකිල්ලට ගෙන කිසිදු ඩිපෝවක් වසා දැමීමේ ජාතික අපරාධයට ඉඩකඩ විවිර නොකරන ලෙසත්, ශ්‍රී ලංගමය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වැලැක්වීමට මැදිහත් වන ලෙසත්, ශ්‍රී ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම අත්හිටුවන ලෙසත්, ශ්‍රී ලංගමයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අප සංගමය ඇතුලූ සමස්ත ශ්‍රී ලංගම සේවකයින් ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.