මහ මුහුද මැද මරුට සිනාසුණු ධීවර සොයුරෝ…

මහ මුහුද මැද මරුට සිනාසුණු ධීවර සොයුරෝ…

‘අපි හිතුවෙම අපිට ආයේ ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලයි…’ දිවි ගලවා ගත් ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියන්ත

මහ මුහුද මැදදී බෝට්ටුව පෙරළී පැය පහකට අධික කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ධීවරයින් දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් කටයුතු කළ පුවතක් තංගල්ලෙන් වාර්තා වේ.

තංගල්ල පරාක්‍රම පාරේ පදිංචි ඒ.ඒ. චමිල් රොෂාන් ප්‍රියන්තට අයත් එක් දින යාත්‍රාවකින් මසුන් ඇල්ලීම සදහා තංගල්ල පදිංචි 48 හැවිරිදි ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියන්ත හා 40 හැවිරිදි චමින්ද කුමාර තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගියේ පසුගිය 29 වන දින දහවල් 2.30ට පමණය. එලෙස මුහුදු ගිය ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව මුහුද මැද නතරව තිබියදී දියවැලකට හසුව පෙරළී ගොස් අනතුරට පත්ව තිබුනේ ධීවරයින් දෙදෙනාවද මුහුදේ ගිල්ලවමිනි. කෙසේ වෙතත් පෙරළී ගිය බෝට්ටුවේ එල්ලී පැය පහකට අධික කාලයක් කිසිවෙකුගේ සහායක් හෝ සහෝදර බෝට්ටුවක් එනතෙක් මහ මුහුද සමග ඔට්ටු වෙන්නට දෙදෙනාට සිදු වූහ. එලෙස සිටින අවස්ථාවේ පාන්දර 6.30ට පමණ මිරිස්සෙන් මුහුදු ගිය වික්‍රම 02 බහුදින යාත්‍රාව ගොඩ බිම බලා එමින් සිටියදී මෙම පිරිස මුහුදේ පාවෙමින් සිටිනු දැක වහාම එම ස්ථානයට ගොස් ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට කටයුතු යොදා තිබිණි.

මහ මුහුද මැද මරුට සිනාසුණු ධීවර සොයුරෝ…

මහ මුහුද මැද මරුට සිනාසුණු ධීවර සොයුරෝ… දිවි ගලවා ගත් ජේ.ඒ. ප්‍රදීප් ප්‍රියන්ත මෙලෙස පැවසීය.

“අපි තංගල්ල ධීවර වරායෙන් පසුගිය 29 වෙනිදා මුහුදු ගියේ. අපි සැතපුම් 17ක් විතර දුර ගිහින් තිබුණා. ඒ ගිහින් දැල් එළද්දී අපේ යාත්‍රාව කිසියම් දෝෂයකට ලක් වුණා. ඒ වෙන කොට වෙලාව අළුයම 12.30ට විතර ඇති. අපි මේ පිළිබඳව බෝට්ටුවේ හිමිකරුට දැනුම් දුන්නා. ඔහු තවත් බෝට්ටුවක් රැගෙන එන්නම් කියලා අපිට කිව්වා. එලෙස දැනුම් දීලා මහ වෙලාවක් ඉන්න ලැබුනේ නෑ. දියවැළකට හසුව බෝට්ටුව පෙරළුණා. අපි දෙන්නම මුහුදේ දියවැලට අහුවෙලා එහාට මෙහාට විසිවෙලා ගියා. පසුව කොහොම හරි අපි දෙන්නම පෙරළුණ බෝට්ටුව අසලට පිනාගෙන ඇවිත් එල්ලු‍ණා. පැය පහකට වැඩිය වේලාවක් අපි දෙන්නා ජිවිතයත් මරණයත් අතර සටන් කළා. උදේ 07 විතර වෙනකම් බෝට්ටුවක් පේනතෙක් මානයක තිබුනේ නෑ. අපි හිතුවෙම අපිට ආයේ ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලයි. අපි මුහුද පීනමින් ඉන්නවා දැකලා තමයි වික්‍රම 02 කියන බහුදින යාත්‍රාව අපි ළඟට ඇවිත් අපිව බේරා ගත්තේ.”

බෝට්ටුවේ හිමිකරු ඒ.ඒ. චමිල් රොෂාන් ප්‍රියන්ත මෙලෙස පැවසීය.

“මට මුහුදු ගිය දෙන්නා කෝල් කරලා කිවුවා බෝට්ටුව කාර්මික දෝෂයකට ලක් වෙලා මොකක් හරි කරන්න කියලා. ඒ වෙනකොට වේලාව මම හිතන්නේ පාන්දර 01ට විතර ඇති. මම ඉක්මනින්ම මේ පිළිබදව ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදා නිලධාරීන්ව දැනුවත් කරලා බෝට්ටුවකුත් සුදානම් කරගෙන තංගල්ල ධීවර වරායෙන් යන්න යනකොට මට දුරකතනයෙන් දැනුම් දුන්නා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකින් ධීවරයින් දෙදෙනා බේරාගෙන එන බවට. ගිලු‍ණ බෝට්ටුව හෝ එන්ජිම ගොඩගන්න උත්සාහයක් දරා තිබුණත් බැරිවෙලා තිබුණා. දැල් ආම්පන්න එක්ක සිදුවුණු අලාභය රුපියල් ලක්ෂ 20කට ආසන්නයි”

(දිවයින)