සැප්තැම්බර් වන විට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් වගකීම රජය භාර ගත යුතුයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

සැප්තැම්බර් වන විට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් වගකීම රජය භාර ගත යුතුයි - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
  • රෝගීන් රෝහල් වලට යන්නේ මරණයට කැප වූ ගවයින් වගේ...
  • රජයේ රෝහල් ගැන මහජන විශ්වාසය බිඳ වැටීම කණගාටුදායකයි...
  • වෛද්‍ය හිඟයෙන් තංගල්ල ඇතුළු හම්බන්තොට රෝහල් රැසක් අනතුරේ...

සැප්තැම්බර් මාසය වන විට සෞඛ්‍ය පද්ධතියේ දැවැන්ත කඩාවැටීමක් හා එය කේන්ද්‍ර කොට ජන අරගලයක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන්නේ නම් එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා අතිරේක ලේකම්වරුන් විසින් සෘජුව භාරගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ඖෂධ හිඟය ඇතිවීමට හේතුව මුදල් අර්බුදය බවත් මුදල් නොලැබෙන්නේ නම් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් තමා ට ප්‍රමාණවත් තරම් මුදල් ලැබී ඇති බැවින් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කරන අතර තවදුරටත් සෞඛ්‍ය පද්ධතියේ ඇති බරපතළ අර්බුද දීමට නිසි මාර්ග සැලැස්මක් ඉදිරිපත් කොට නොතිබීම ගැන ජනතාව ඉදිරියේ සමාව ගත යුතු බව ඔහු ප්‍රකාශ කොට සිටියේය.

ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන ලැබී ඇත්නම් දිගින් දිගටම හදිසි ඖෂධ මිලදී ගැනීම් වෙනුවට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීමට කටයුතු නොකිරීම මෙරට මහජනතාවගේ බදු මුදල් හා ජනාධිපතිවරයා රට ලොව පුරා ඇවිද ගොස් යන්තමින් විදේශාධාර අවභාවිතා කිරීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවදුරටත් සාමාන්‍ය ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමක් සිදුවන්නේ නම් රටේ ඖෂධ ප්‍රශ්නය විසදීමට තවත් වසරක් කට වඩා වැඩි කාලයක් ගතවන බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඔහු එහිදී සඳහන් කළේ හදිසි ඖෂධ මිලදී ගැනීම ඖෂධ හිඟය මැඩපැවැත්වීමට පවතින එකම විසඳුම බවයි.

සාමාන්‍ය මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමට සැලසුම් සකස් කරනවා වෙනුවට හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීමත් විද්‍යාත්මක තාක්ෂණික කමිටුව ඇගයීම් වලින් හා රසායනාගාර පරීක්ෂණ වල නිර්දේශයන් තොරව ඖෂධ මිලදී ගැනීම නිසා අති විශාල මුදල් ප්‍රමාණයක් භාවිතා වීමත් තත්ත්වයෙන් බාල ඖෂධ හා ලියාපදිංචි නොකල ඖෂධ ශ්‍රී ලංකාවට පැමිණීම නිසා මේ වන විට සෞඛ්‍යයට බරපතළ අර්බුදයකට මුහුණ පා ඇතැයි විශේෂඥ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. වැඩි මුදලට ලියාපදිංචි නොමැති සමාගම්වලින් තත්වයෙන් බාල ඖෂධ මිලදී ගත්තත් ඒවා නිසි නීත්‍යානුකූල හා ප්‍රසම්පාදන කමිටු හරහා සිදු කරවා ගැනීමට තරම් නිලධාරීන් සූක්ෂම තිබීම නිසා බොහෝ විට මෙම ප්‍රශ්න සහගත ගනුදෙනු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවද මේවා සුදුකරපටි හොරකම් බව සඳහන් කරයි.

හදිසි ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් නිසි තාක්ෂණික ඇගයීම් කමිටුව කහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට යටත්ව ගෙන්වා ගැනීම මිස සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා හෝ අතිරේක ලේකම්වරුන්ගේ අවශ්‍යතාවයන් මත නීත්‍යානුකූල භාවය පෙන්වන ඇතැම් ප්‍රශ්න සහගතව ටෙන්ඩර් ක්‍රියාදාමයන් හරහා ඖෂධ මිලදී ගැනීමට උනන්දු විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනටමත් රජයේ රෝහල්වලට බොහෝ රෝගීන් පැමිණීමට බියක් දක්වන බවත් මරණයට කැප වූ ගවයින් මෙන් රජ රෝහල්වලට රෝගීන් ගමන් ගන්නේ තම ජීවිතය ගැන විශ්වාසයකින් නොමැති බව වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින්ම රජයේ රෝහල් පාඩු ලබන ආයතන ලෙස නම් කොට පෞද්ගලීකරණය සිදුවූවොත් ඒ ගැන පුදුම විය යුතු නැති බවද සඳහන් කළේය.

අද වන විට රජයෙ රෝහල්වලට යාමට වත්කමක් නොමැති බොහෝ පුද්ගලයන් තම කණකර ඉඩම් හා දේපළ ද  යාන වාහන උගස් කොට හෝ විකුණා පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පෙනී යන බව තමාට අත්දැකීම් ඇති බව සඳහන් කළ අතර තත්ත්වයක් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින් සෞඛ්‍ය සේවාව බිඳවැටීමෙන් මෙරට ග්‍රාමීය ජනතාවගේ හා ප්‍රජා සෞඛ්‍ය සේවා ද මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ද ද්විතීක මූලික හා තෘතීක සෞඛ්‍ය පද්ධතිය ද බිඳ වැටීමෙන් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඖෂධ නියාමන අධිකාරියක් රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ නිෂ්පාදන සංස්ථාව අත් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගනිමින් තම වගකීම් පැහැර හරිමින් සිටින බව ඔවුන්ගේ මාධ්‍ය සාකච්චා වලින් නිරූපනය වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

රටේ බරපතළ සෞඛ්‍ය අර්බුදයක් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව තුළ සිටින වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්බන්ධයෙන් හඬ නැගීම කණගාටුවට කරුණක් බවත් හම්බන්තොට අම්පාර මොනරාගල බදුල්ල ගාල්ල මාතර තංගල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ම රෝහල් පද්ධතිය අර්බුද සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍යවරුන් නිහඬව සිටීම පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතු බව ද සඳහන් කළේය.