කම්කරු අමාත්‍යාංශ ලේකම් වහා අත්අඩංගුවට ගන්න

කම්කරු අමාත්‍යාංශ ලේකම් වහා අත්අඩංගුවට ගන්න

හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයන් පස් දෙනකු මීට වසර පහකට පෙර ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට අදාළව කම්කරු දෙපාර්තමේන්තුව හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයකුට බලපෑම් කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වූ කම්කරු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ආර්.පී.ඒ. විමලවීර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (24දා) වරෙන්තු නිකුත් කළේය. එම වරෙන්තුව පොලිස්පතිවරයා මඟින් දින 7ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම ආයතනයේ සේවකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු එලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව එවකට එම කර්මාන්තශාලාවේ සේවයෙහි නියුතුව සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසකට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුවට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍ර මහතාට හිටපු කම්කරු කොමසාරිස් අසෝක පීරිස් මෙන්ම හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වන මොහුද බලපෑම් කර ඇති බවට කරුණු හෙළිවී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මෙම බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තම කාර්යාලයට පැමිණෙන ලෙස කම්කරු අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වන විමලවීර නමැති මොහුට අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කළ නමුත් ඔහු තම කාර්යාලයට නොපැමිණි නිසා ඔහුගේ කාර්යාලයට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බවද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

හොරණ රබර් කර්මාන්තශාලාවේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙසට කම්කරු අමාත්‍යාංශයේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍ර මහතාට විවිධ අවස්ථාවලදී බලපෑම් කර ඇති බවත් එම ඉන්ජිනේරුවරයාගේ පෞද්ගලික ලිපි ගොනුව පවා එම කොමසාරිස් ජනරාල්වරයා භාරයේ තබාගෙන ඇති බවට කරුණු හෙළිවූ බවද එම අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවැසීය.

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවන්හිදී රටේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු මෙරට ප්‍රධාන පුරවැසියන් එලෙස පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදුන් අවස්ථාවන් ඕනෑ තරම් තිබෙන බවත් කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන ආකාරයට මෙම ලේකම්වරයා එවැනි ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය වෙත නොපැමිණ ඇත්තේ ඔහු එතරම්ම කාර්යබහුල පුද්ගලයෙක් යන නිසාදැයි තමන්ට ප්‍රශ්නයක් පැනනඟින බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය. මෙම සිද්ධියේ සාක්ෂිකාර රුක්මන් කුමාර හේමචන්ද්‍ර මහතාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම නිසා ඔහුව එලෙස පීඩනයට ලක් කර ඇති බවට කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණුවලින් තමාට පෙනී යන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙන කරුණු අනුව මෙම ලේකම්වරයා අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවැසීය. හොරණ රබර් කර්මාන්තශාලාවේ අනතුර සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට එවකට කළුතර කර්මාන්තශාලා පරීක්ෂක ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළ රුක්මන් කුමාර හේමචන්ද්‍ර මහතාට බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු කම්කරු කොමසාරිස් අශෝක පීරිස් ඇප මත මුදා හරින ලෙසද මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය. එම කර්මාන්තශාලාවේ රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියට වැටී පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය 2018 අප්‍රේල් මස 19 දින සිදුව ඇති බවද හෙළිවිය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ෂෙහාන් ද සිල්වා, මලිත් කලංසූරිය යන නීතිඥවරුද පෙනී සිටියහ.

(මවිබ්ම)