පොලීසියට බය නැති තරිඳු

පොලීසියට බය නැති තරිඳු

අපේ කාලයේ නිබය හා සාර්ථක තරුණ ජනමාධ්‍යවේදියෙක් වන තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ජනමාධ්‍යවේදියෙක් ලෙස ඔහු යණෙන මඟ රැඳුණු උද්ඝෝෂකයන් පිරිසක් අසළ සිටි පොලිස් නිළධාරීන් ඇතුළු හාත්පස පසුබිම වීඩියෝගත  කල වරදටය.

ඔහුගේ වෘත්තිමය වගකීම හා එය අභිබවා යන ඔහුගේ උද්‍යෝගිමත් මාධ්‍ය චර්යාවට අනුව සැබවින්ම වරදක් වන්නේ ඔහු එවැනි යමක් ගැන වාර්තා නොකළහොත්ය. තරිඳු යනු  මෑත කාලීනව මෙරටේ ගොඩනැගෙමින් තිබෙන අනාගත සාර්ථක මාධ්‍යවේදියෙකුගේ අනගි පෞරුෂයකි. ඔහු විරෝධය සහ වාර්තාකරණය විලාසිතාවක් කරගත් ආඩම්බරකාර ලියන්නෙක් සහ මැදිහත්කරුවෙක්ව අනේක සභා මැද දිදුලන්නට පටන් ගත්තේ රාවය පුවත්පත තම සාඩම්බර අවසන් කාල සමයේ අවසන් හුස්ම හෙළන අතරවාරයේදීය.

එහෙත් මේ ඒ ගැන නොවේ. ඔහු ත්‍රීරෝධ රියක් තුළ සිටියදී සැළසුම්සහගත වෛරී හැඟීමෙන් කුදලා ගත් ශ්‍රී ලංකා පොලීසියේ අනීතික භාවිතාවට මුහුණදුන් අපූරුව ගැන අප ලත් ආශ්වාදය බෙදාහදා ගැනීමටය.

කෙතරම් විරු චර්යාවක් නඩත්තු කළේ වුව කාකි නිල ඇඳුම් ඇඟ ලාගත් නිලදරුවන් තමන් ගලග්‍රහයෙන් ගන්නා විට දියෙන් ගොඩ ගත මාළුවන්  සේ බියෙන් සලිතව විකාරරූපී චර්යාවක් පාන්නෝ බහුල සමයක තරිඳු දැක්වූ විරෝධය මනරම්ය.

එවැනි සාඩම්බර ප්‍රකාශනයක් ඔහු කරන්නේ රාජ්‍යය ආශීර්වාදය ලත්  හැඩි දැඩි පිරිමින්  අහිනක් අභියසය. ඔහු පැහැදිළිව කියන්නේ තමන් ඉටු කලේ තම වෘත්තියම වගකීම බවත්, එය ඔහුගේ අයිතියක් බවත්ය. අවසන පොලීසියට සිදුවන්නේ ඔවුන් සමහරෙක් සතු අධම හා නිහීන භාවිතාව වන අවමන් සහගත සැළකීම ඔස්සේ ඔහුගේ හිසකේ ගසින් හෝ ඇද පොලිස් ජීප් රියට තල්ලු කිරීමටයි. (ඇසු කතා සත්‍ය නම් ඔහුට අවමන් සහගතව බස හැසිරවූ පොලිස්කාරයෙකුට ද ඔහු එබසින්ම ප්‍රතිචාර දක්වා ඇති අතර එනිසාම තවත් මුෂ්ටි ප්‍රහාරයකට ලක්ව ඇත).

තරිඳු, තරිඳුව කුදලා ගත් නිල දරුවන් අහිනට වඩා වෙසෙස් මෙහෙවරක් කරන ලියන්නෙකි. ඔහු ගොඩ නඟා ගනිමින් සිටින පෞරුෂය පොලිස් මුලස්ථානයේ තට්ටු බිල්ඩිමට වඩා උස බව පමණක් ලියා තැබීම දැනට  ප්‍රමාණවත්ය.

| මංජුල ගජනායක