EPF සහ ETF වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

  EPF සහ ETF වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්
සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.
 
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්, භාණ්ඩාගාරික නිමල් ප්‍රේමසිරි විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
 
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
 
මේ පිළිබඳ වැඩබිම  වෙනුවෙන් අප කළ විමසීමකදී, අදහස් දක්වමින් එම පෙත්සම්කාර පාර්ශ්වයක් වන නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මෙසේ කියා සිටියා.
 
" දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට ඉතා හානිදායක තත්ත්වයක් උදාවී තියෙනවා. අනෙක් අතට මෙම අරමුදල්වල හිමිකරුවන් වන්නේ සේවකයින්. ඒ්ත් ඔවුන්ගේ කැමැත්තකින් තොරවයි, මෙම මුදල් වෙනත් කටයුත්තකට වැය කරන්නට යන්නෙ. එය නීති විරෝධි බවයි, අපගේ හැඟීම. ඒ් නිසා මෙම පෙත්සම තුළින් අප විවිධ අතුරු තහනම් නියෝග ලබා ගැනීමට උපරිමාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. එය විභාගයට ගැනීමෙන් පසු ඒ් පිළිබඳ සවිස්තරාත්මකව කරුණු දක්වන්නට බලාපොරොත්තු වෙනවා."