පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ගැන පැමිණිලි කළ කාන්තාවන් බියෙන්

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන ගැන පැමිණිලි කළ කාන්තාවන් බියෙන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට ලිංගික අතවර කිරීම ගැන කෙරෙන අභ්‍යන්තර පරීක්ෂණයේ සාර්ථකත්වය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරියක් සැක මතු කර තිබේ.

පාර්ලිමේන්තු කාන්තා සංසදය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ගේ පැමිණිලි ඉල්ලා අස් කරගැනීමට බලපෑම් කෙරෙන බවයි.

"මේ වෙනකොට ඒ හිංසනයට ලක් වෙච්ච අයට බලපෑම් කෙරෙනවා ලියුම් අත්සන් කරවා ගන්නවා එහෙම දේවල් උනේ නැහැයි කියලා. එතකොට මේක වෙනකොට දැන් ඒ අයට බයක් තියනවා මේ පරීක්ෂණය හරියට සිද්ධ වෙයිද නැද්ද කියලා."

මෙම සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුවු බව පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණීගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස හැන්සාඩ් සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක කටයුතු කරති.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න අගෝස්තු 8 වැනිදා පාර්ලිමේන්තුවේදී මහලේකම්වරියගෙන් වැඩි  දුරටත් ඉල්ලා සිටියේ කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. 

 (the leader)