වලව ගොවි නායකයින්ට ආමානුෂික පහරදීමක්

වලව ගොවි නායකයින්ට ආමානුෂික පහරදීමක්

වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර හදුනානොගත් කණ්ඩායම් අමානුෂික ලෙස පහර දී සිදුකරන වද හිංසා වලට එරෙහිව වහා පියවර නොගැනීම සම්බන්ධව ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  

යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමඟ මතුවු දැඩි ජල හිඟයට සමස්ථ මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86ක නායකත්වය දරන ගොවි නායකයින් පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටළු වලට අධික ලෙස මුහුණ දෙමින් කටයුතු කරන ගොවි කණ්ඩායම් වෙත අවශ්‍ය සහායන් සදහා මැදිහත් වෙමින් සිටී. උග්‍ර නියං තත්වයට අනුව වගාවට ජලය ඉල්ලීම් කරමින්, විවිධ අයුරින් නිදහස් කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට දරන්නේ අපමණ වෙහෙසකි. මහා පරිමාණයෙන් වගා බිමි සිදුකරමින් සිටින පුද්ගලයන් හා අනවසර වගා කරුවන් ඔවුන්ගේ වගාවන් හා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා ජලය ලබා ගැනීමට කටයුතු කරයි. එවැනි වගා කරුවන් බොහෝ විට නීතිමය තත්ත්වයන්ට වඩා  මුදල් බලය, මැර බලය හා දේශපාලන බලය යොදා ගන්නා පිරිසකි. ඒවාට විරුද්දව කටයුතු  කරන ගොවි නායකයින් ජල මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හා  පීඩනයන්ට හසුවන අය බවට පත්ව ඇත.

පසුගිය මාසක කාලයක් තුල මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් දෙදෙනෙකු වෙත සිදුකරන ලද අමානුෂික ප්‍රහාරයන් මගින් එක් අයෙක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

පහර දීමේ සිද්ධි අංක 01.

2023-07-27 වැනි දින ප:ව: 6.00 ට කේ. ඒ. අජිත් කුමාර වන අවුරුදු 47 වු ගොවි නායක මහතාට ,මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී  නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාම.

පහර දීමේ සිද්ධි අංක 02.

2023-08-15 වැනි දින ප:ව: 7.00 ට පමණ ජී. කරුණාතිලක නම් වු අවුරැදු 54 වන ගොවි නායක මහතාට UD-60 හි,  29 වැව ආසන්නයේදී   නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී දෑත් දෙපා කඩාහානි සිදු කර ඇත.

ඉහත සිදුවීම 2023-07-27 දිනද ,දෙවැනි සිදුවීම 2023-08-17 දිනයේදී ද වරාය පොලීසියේ පැමිණිලි කොට ඇත.එහෙත් මේ සදහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර මැර බලය භාවිතා කරන පිරිස තවමත් නිදැල්ලේ පසුවෙති.

ගොවි පවුල් විශාල පිරිසක් නියෝජනය කරන මෙම ගොවි නායකයින් මුහුණ දී ඇති තත්වය ඉතාම ඛේදනීය බවත් එවන් තත්වයකට ඔවුන් පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවත් අප මෙහිදි මතක්කර සිටිමු.

මෙම අමානුෂික ප්‍රහාරයන් සඳහා වගකිවයුතු මැර කණ්ඩායම් ඉතා ඉක්මනින් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව පොලිසියට අපගේ අප්‍රසාදය පළ කරමු.  ඒසේ මැදිහත් වීමක් සිදු කිරීමට පොලිසිය අපෝසත් වන්නේ කාගේ වුවමානවෙන්ද හා බලපෑම් නිසා ද යන්න ජනතාවට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටිමු.

දැනටමත් සමනලවැව මගින් ජලය උඩවලව ජලාශයට නිකුත් කොට දින 10 ගත වී ඇතත් ප්‍රමාණවත්ව ගොවි බිම්වෙත ජලය ලැබී නොමැති තත්ත්වයන් තුල ගොවීන් අතර, ජලය බෙදා ගැනීමට අදාලව විවිධ ගැටුම් වර්ධනය වෙමින් පවතී. ඉතා කඩිනමින් ගොවින්, මහා පරිමාන අනවසර වගා හිමියන් අතර ඇති විය හැකි ගැටුම් වලක්වා ගැනීමට වහා පියවර ගැනීමට මහවැලිය, කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලෙ ඉන්නට ඉඩහැරීම ගොවි නායකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව මතක්කල යුතුව ඇත. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස ගොවි නායක ජීවිතයකට හානි සිදුවුවහොත් එහි වගකීම භාරගැනීමට අපරාධකරුවන්ට නිදැල්ලෙ සීටීමට හැර මුනිවත රකින පොලීසිය බාර ගත යුතුය.