රතු කුරුසෙන් අඩු ආදායම්ලාභීන්ට බෙහෙත් නොමිලේ

රතු කුරුසෙන් අඩු ආදායම්ලාභීන්ට බෙහෙත් නොමිලේ

දියවැඩියාව,අධික රුධිර පීඩනය ඇතුළු  බෝ නොවන රෝග රැසක් සඳහා  අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි, අඩු ආදායම්ලාභී ජනතාව වෙත එම බෙහෙත් ද්‍රව්‍ය නොමිලයේම ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

දිවයින පුරා මේ දිනවල පවතින ඖෂධ හිඟය හා ඖෂධ මිල ඉහල යාම යන කරුණු සැළකිල්ලට ගනිමින්  ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ  කොළඹ දිස්ත්‍රික්කය තුල,  වෛද්‍ය කඳවුරු 10 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දැනට කටයුතු යොදා ඇත

EY Global Delivery Service ආයතනයේ ඇමරිකානු ඩොලර් 25,000 ක මූල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කර ඇති මෙම වෛද්‍ය කඳවුරු හරහා, අඩු ආදායම්ලාභී ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග නොමිලයේ ලබාදීම පමණක් නොව, වෛද්‍ය සේවාවන්ද නොමිලයේ ලබාදීමට රතුකුරුසය දැනටමත් කටයුතු යොදා ඇත. 

මේ වනවිට මෙවැනි වෛද්‍ය කඳවුරු තුනක්, කොලොන්නාව හා මෙගොඩ කොලොන්නාව හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලදී  පවත්වා අවසන්ව ඇති බවත් එම වැඩසටහන් සාර්ථකකර ගැනීමට  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල, බෝ නොවන රෝග ඒකකවල මෙන්ම  එම ප්‍රදේශවල  ‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය මහත්ම මහත්මීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍යය නිලධාරීන්ගේද, උපරිම සහය ලැබුණු බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය .