2023 ජූලි මස 6 වන දින ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කල යෝජිත සේවානියුක්ති පනත් කෙටුම්පත පිලිබඳව වෘත්තීය සමිති ස්ථාවරය

2023 ජූලි මස 6 වන දින ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කල යෝජිත සේවානියුක්ති පනත් කෙටුම්පත පිලිබඳව වෘත්තීය සමිති ස්ථාවරය

වෘත්තීය සමිති වල අදහස් විමසුම පිණිස කම්කරු අමාත්‍යවරයා විසින් 2023.07.06 දින ඉදිරිපත් කරන ලද යෝජිත “සේවානියුක්ති පනත් කෙටුම්පත” පිළිබඳව අප විසින් සිදු කල සවිස්තරාත්මක අධ්‍යයනයන් සහ වැඩිදුර කරුණු තහවුරු කිරීම් වලින් අනතුරුව පහත දැක්වෙන නිගමනවලට එළඹ ඇති බව දැනුම් දෙන්නෙමු.

යෝජිත් කම්කරු නීති මාලාවේ මූලික නෛතික පදනම ගොඩනැගී ඇත්තේ විශ්වීය පොදු සම්මතයන්ට සම්පූර්ණයෙන්ම ආගන්තුක සහ ශ්‍රමයේ පරිනාමයේදී අත්පත් කරගනු ලැබූ සියලු පිළිගත් ගෝලීය උපමානයන්ට ඉඳුරාම පටහැනි, නූතන ශිෂ්ඨ සමාජයක මූලික අගයන් හා නොගැලපෙන, සේව්‍ය-සේවක සබඳතාවය හසුරුවන නෛතික රාමුව ප්‍රාග්ධනයේ පූර්ණ ආධිපත්‍යයට යටත් කරන, අසීමාන්තික ශ්‍රම සූරා කෑම නීතිගත කරන, නියාමන සංවරණ හා තුලනයන් ඉවත් කෙරෙන, ඉතිහාසයේ ආපසු හැරවුමක් පිළිබිඹු කරන ආකෘතියක් මතය.

තවද, කම්කරු නීති “ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය” පිලිබඳව සේවා නියුක්තියේ මූලික ත්‍රෛපාර්ශවීය පාර්ශව කරුවන් අතර විනිවිද භාවයකින් යුතුව එළඹී පොදු එකඟතාවයක් රහිත උද්දෙෂිත කම්කරු නීති සංශෝධන ව්‍යායාමය ජගත් කම්කරු සංවිධානයේ සම්මුතීන් වලට සහ එහි අනිවාර්ය නියමයන්ට පටහැනි වන අතර “ශිෂ්ඨ රැකියා” උපමානයන් සාක්ෂාත් කරගැනීමද ව්‍යර්ථ කරවයි.

ශිෂ්ඨ සම්පන්න ගෝලීය නූතනත්වය සහ ජගත් කම්කරු සංවිධානය ප්‍රමුඛව ගොඩනැගුනු ශ්‍රමයට අදාළ නීති රාමුවේ විකාශනයේදී මුල්බැසගත් මූලික මූලධර්මයන් වල හරයන් බැහැර කරන කෙටුම්පතක්, ප්‍රතියෝජනා හෝ සංශෝධන මගින් ප්‍රකෘති කල නොහැකිය. එම නිසා යෝජිත කෙටුම්පත එකහෙලා ප්‍රතික්ෂේප කිරීමටත්, එය ඉදිරියට ගෙන ඒමට දරන ඕනෑම ප්‍රයත්නයක් වැඩකරන ජනතාවගේ සහ පොදු මහජනතාවගේ පුළුල් සහයෝගයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමටත් වෘත්තීය සමිති එක්සත්ව අදිටන් කොට ඇති බවත් දැනුම් දෙන්නෙමු.

ගෝලීය උපමානයන්ට පටහැනි යෝජිත අතාර්කික කම්කරු නීති සංශෝධන මගින් අපනයන වෙළඳපොල ජයගැනීමට අවැසි ජාත්‍යන්තර වෙළඳ ලෝකයේ ක්‍රියාත්මක ව්‍යාපාර සමාජ වගකීම් පිලිබඳ චර්යාධර්ම පද්ධති මාලාවන් සමග අනුගත වීමද සම්පුර්ණයෙන්ම බිඳවැටීමකට භාජය කෙරෙන අතර එමගින් ජාත්‍යන්තර ව්‍යාපාර සහ සැපයුම් දාමයන් නිසැකවම ශ්‍රීලංකාවෙන් ඈත් කිරීමටත්, එහි ප්‍රතිපලයක් ලෙස ජාතික ආර්ථික අභියෝගයන් තවදුරටත් තීව්‍ර කිරීමටත් මෙම යෝජනා තුඩු දෙනු ඇත.

අපගේ කම්කරු නීතී සහ භාවිතයන් ජගත් කම්කරු සංවිධානයේ සම්මුතිබද්ධ උපමානයන් සමග සැලකිය යුතු අනනුකූලතාවයන්ගෙන් ගහන බව එහි අධීක්ෂක යාන්ත්‍රණයන් විසින් පසුගිය දශක කිහිපය පුරාවටම නිරන්තරයෙන් අවධාරණය කර ඇත.

ගෝලීය ශිෂ්ඨ සමාජයේ සහ ජගත් කම්කරු සංවිධානයේ මූලික උපමානයන් හා අනුගතවන, ශිෂ්ඨ රැකියා (Decent Work) පරිසරයක් ශ්‍රම බලකායට සහතික කරන නූතනත්වය සහ ප්‍රගතිශිලීත්වය සනිටුහන් කරන්නාවූ ලෝකය සමග මුසුවිය හැකි දියුණු කම්කරු නීති රාමුවක් ගොඩනැගීම ප්‍රමුඛ පරමාර්ථයක් විය යුතු බව අපගේ දැඩි අභිලාෂයයි. කම්කරු නීති කාලානුරුපීව යාවත්කාලීන කරනු පිණිස සේවා නියුක්තියේ සියලු පාර්ශව කරුවන්ගේ සක්‍රීය දායකත්වයට අවකාශය සලසන නිශ්චිත, විනිවිද පෙනෙන සහ සම්මුති බද්ධව (consensus based) නිර්මාණය කල කාර්ය අනුදේශ මාලාවක් (Terms of Reference) ප්‍රමුඛතාවයක් ලෙස “ප්‍රථමයෙන්” ගොඩනැගීමේ ක්‍රියාවලියකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පුළුල්, විවෘත සහ සාමුහික කතිකාවතක් ආරම්භ කරනු පිණිස මුල පුරන මෙන් අප රජයට ආරාධනා කර සිටිමු.