සතොසේ සියලු දෙනා අනිවාර්ය විශ්‍රාම ගන්වයි

සතොසේ සියලු දෙනා අනිවාර්ය විශ්‍රාම ගන්වයි

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තුන්සියයක් පමණ වන සියලු ම සේවකයන් මේ මස 30 වන දින සිට අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, සාමාන්‍යාධිකාරි (වැඩ ආවරණ) කළමනාකරු (තොග ආවරණ), ගබඩා කළමනාකරු, ගණකාධිකාරි, සහකාර ගණකාධිකාරි, කළමනාකරණ සහකාර, සුපරීක්ෂක, ප්‍රාදේශීය සුපරීක්ෂක, සුපරීක්ෂක (ඉන්ජිනේරු) රියැදුරු, උපරියැදුරු ඇතුළු තනතුරු ගණනාවක සේවය කළ 292 දෙනෙකු රැකියාවෙන් ඉවත් කිරීමට නියමිත ය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබෙන බැවින් සතොස පාලනාධිකාරය මෙම තීරණය ගෙන තිබේ.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය අනුව සියලු ම සේවකයන්ට සැප්තැම්බර් මස වැටුප් ගෙවීමෙන් අනතුරුව 30දා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් නොගෙවන බවට සතොස සභාපති පසඳ යාපා අබේවර්ධනගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති චක්‍රලේඛයකින් දැනුම් දී ඇත.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි පත්කරන ලද නිලධාරි කමිටුව සතොස සියලු ම සේවකයන් සඳහා වන්දි සූත්‍රයක් සකස් කර තිබෙන බව ද එහි සඳහන් කර ඇත. සතොස සේවකයන් ආයතනයෙන් ලබා ගෙන ඇති ණය සහ ගෙවීමට ඇති සියලු ම මුදල් අඩුකිරීමෙන් හා විනය නියෝග මත ගෙවීම් කිරීමට ඇති සියලු ම ගෙවීම් අඩුකිරීමෙන් ඉතිරිවන මුදල් වන්දි සූත්‍රයට අනුව ලබා දෙන බව ද චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදලට අමතරව ව්‍යවස්ථාපිත දීමනා වන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ලබාගැනීමට සේවකයන් හිමිකම් ලබන බව ද එහි සඳහන් කර ඇත.

එසේ ම සේවකයන්ට හිමි සේවා පාරිතෝෂික මුදල් අනිවාර්ය විශ්‍රාම ගන්වන 2023.09.30 දක්වා ගණනය කර ලබන මස 15 වන දිනට පෙර ගෙවන බව ද චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. මේ අතර, මෙතෙක් භාණ්ඩ බෙදාහැරීම සිදුකළ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සතු සියලු දේපොළ ඈවර කිරීමට ද එහි පාලනාධිකාරය තීරණය කර තිබේ.

සතොස ප්‍රතිව්‍යුභගතකරණය කිරීමේ කැබිනට් තීරණය යටතේ ඉඩම්, ගොඩනැගිලි, නිවාඩු නිකේතන ඇතුළු නිශ්චල දේපොළ හා ලොරි ඇතුළු චංචල දේපොළ ඈවර කිරීමට නියමිත ය. මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණයට හා සතොස දේපොළ ඈවර කිරීමේ තීරණයට එහි සේවකයන්ගෙන් විරෝධය පළ වී තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පැමිණි ඔවුහු මෙම තීරණ පිළිබඳව නැවත සලකා බලන ලෙසට ඉල්ලා සිටියහ. එහිදී පැවති සාකච්ඡාවකදී සේවකයන් විශ්‍රාම ගැන්වීම හා සතොස ඈවර කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව සිදුවන බැවින් තමන්ට ඒ සම්බන්ධව කිසිවක් කළ නොහැකි බව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

අමාත්‍යාංශයේ තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සතියේ සිට වෘත්තීය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සේවකයන් තීරණය කර තිබේ.

(මව්බිම)