මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ පනත, විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමට සහ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීම සඳහා භාවිතා කිරීමේ අවධානමක් තිබෙනවා - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවල සුරක්ෂිත බව පිළිබඳ පනත, විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමට සහ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීම සඳහා භාවිතා කිරීමේ අවධානමක් තිබෙනවා - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

කෙටුම්පතක් ලෙස ගැසට් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිත බව පිළිබඳ පනත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උදුරා ගැනීම සඳහාද, විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීම සඳහාද යොදා ගැනීමේ අවධානමක් පවතින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. ශ්‍රී ලංකාවේ බලධාරීන් මේ දක්වා අයි.සී.සී.පී.ආර් පනතද අසද් අරමුණු ඇතිව, අවභාවිතා කර ඇති  පසුබිමෙක යෝජිත පනතද එලෙස භාවිතා කිරීමට යොමු වීමේ විභවය ඉතා ඉහළය.

ඔන්ලයින් පීඨිකාවලදී පරිශීලකයන් හෝ වෙනත් තැනැත්තන් හිංසනයට ලක්වීම, අසත්‍ය හා දුෂ්තොරතුරු (සෙසු ප්‍රවර්ගද ඇතුළත්ව), වෛරී ප්‍රකාශන, වළක්වා ගැනීමට ක්‍රමවේද තිබිය යුතු නමුත් ප්‍රජා ප්‍රමිතීන් හා බහු පාර්ශවික සහභාගීත්වයෙන් යුක්ත ව්‍යුහයකින්ද, ඩිජිටල් මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම හා ආචාර ධාර්මික භාවිතය දිරි ගැන්වීම වැනි ක්‍රියාමාර්ගවලින්ද බැහැරව මෙවැනි පනතක් බලගැන්වීමටද, ස්වාධීනත්වය පිළිබඳ සැක මතුවන කොමිසමක් පත් කිරීමට එතුළින් විධිවිධාන සැළසීමෙන්ද, විරුද්ධවාදීන් මර්දනය කිරීමේ,සහ බලය දරන පාර්ශවවලට එරෙහිව ඔන්ලයින් පීඨිකාවල නැගෙන හඬ අවහිර කිරීම සඳහා ඉඩ ලැබෙන නව මාවතක් ආණ්ඩුව තෝරා ගනිමින් සිටී. මෙවැනි පනතක් සම්මත වුවහොත් එය වත්මන් ආණ්ඩුව හෝ අනාගතයේ බලය දරන පාර්ශව අවභාවිත නොකරනු ඇතැයි සහතික විය නොහැකිය.

යෝජිත පනතෙහි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කොමිෂන් සභාව පත්කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා නම් එය ස්වාධීන කොමිසමක් යැයි හැඳින්වීම යුක්ති සහගතදැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රශ්න කරයි. එසේම, මෙම පනතෙහි දක්වා ඇති ඇතැම් කරුණුවලට පුළුල් අර්ථකථන සැපයීමට හැකි බැවින්ද, යමක් අසත්‍ය යැයි කොමිසමෙන් තීරණය කර  ප්‍රකාශනය නවතා දැමීමට අදාළ පාර්ශවවලට නියම කිරීමෙන්ද නිර්දෝෂී බවෙහි පූර්ව නිගමනය මෙන්ම ප්‍රකාශනයේ නිදහසද අභියෝගයට ලක් වේ.

යෝජිත පනතට අනුව සමාජ මාධ්‍ය පහසුකම් සපයන වෙබ් අඩවි ලියාපදිංචි විය යුතු අතර ලියාපදිංචි නොවන  සමාජ මාධ්‍ය පිඨිකා මෙරට පුරවැසියන්ට අහිමි වීමේ අවධානමක්ද පවතී.

එවැනි පසුබිමක අවභාවිතා කිරීමේ ඉතා ඉහළ විභවයක් ඇති මර්දනකාරී පනතක් හඳුන්වා දීම වෙනුවට සමාජමාධ්‍ය භාවිතයට අදාල ප්‍රජා ප්‍රමිතීන් හා ආචාර ධර්ම අනුගමනය දිරිගැන්වීමද, පුරවැසියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමද ඇතුළත්ව දැනට පවතින නීති පද්ධතිය ශක්තිමත් ලෙස භාවිතා කිරීමේ විකල්පයට යොමු නොවන්නේ මන්දැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් විමසා සිටියි.

මෙම පනත් කෙටුම්පත හකුළා ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවද, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අගය කරන, අදහස් මර්දනය වෙනුවට ශිෂ්ට සම්පන්න ලෙස පිළිතුරු දෙන සමාජයක් ගොඩනැගීම කළ යුතු බව විශ්වාස කරන සියලු පාර්ශව ඒ සඳහා එක්ව අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.