වැඩි වැටුපක් ඉල්ලා රාජ්‍ය හා අර්ධරාජ්‍ය සටනට

වැඩි වැටුපක් ඉල්ලා රාජ්‍ය හා අර්ධරාජ්‍ය සටනට

රුපියල් 20000/-ක වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව, දින 14ක් ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රට ආර්ථිකමය වශයෙන් ගොඩ ගන්නා ආකාරය පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත්  වී තිබෙන බව වෘත්තීයවේදීන්ගේ අදහස බවත්, මහජනතාව සහ රටේ ශ්‍රම බලකාය පටි තද කර ගත්තාට, ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන බවක් පෙනෙන්නට නැති බවයි.

දූෂණය, වංචාව, නාස්තිය වැලැක්මේ කිසිදු අභිලාෂයක් ආණ්ඩුවට නැත. පරිපාලන ගුණාත්මක බව එදාටත් වඩා අද පිරිහී ඇත. තිරණ ගැනීමේ නවීන බව වෙණුවට, වැඩවසම්, යටත් විජිත මනසකින් යුතු ගතානු ගතික තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙතකට රට තල්ලු කර හැර ඇත.

මෙම තත්ත්වය යටතේ තවදුරටත් පටි තද කරගෙන සිටීමේ ප්‍රතිඵලයක් නැති බැවින්, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ශ්‍රම බලකාය සඳහා රුපියල් 20000/ක වැටුප් වැඩිවීමක් ලබා දීමට බල කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට, කොළඹදී රැස්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කරන ලද බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

1. රුපියල් 20000/-ක වැටුප් වැඩිවීමක් ලබා දෙනු!

2. වෘත්තීය සමිති මර්ධනය නවතනු.

3. ත්‍රස්ත විරෝධී පනත, මාධ්‍ය නියාමන පනත ඇතුළු, මර්ධනීය අණ පණත් හකුලා ගනු!

4. රාජ්‍ය සේවාව කප්පාදු කිරීම නවතනු!

5. අත්‍යවශ්‍ය බඳවා වහා ගැනීම් සිදු කරණු !

6. ඖෂධ, ප්‍රතික්‍රීයක, උපකරණ ඇතුළු සෞඛ්‍ය සේවාවට අදාල යටිතල පහසුකම් ලබා දෙනු !

යන ඉල්ලීම් මුල්කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය වන බවයි.