කම්කරු නීති ප්‍රතිසංස්කරණ හා සේවක අර්ථසාධක අරමුදල වෙත කරන බලපෑමට ජාත්‍යන්තර වෘත්තීය සමිති විරෝධය පළ කරයි

කම්කරු නීති ප්‍රතිසංස්කරණ හා සේවක අර්ථසාධක අරමුදල වෙත කරන බලපෑමට ජාත්‍යන්තර වෘත්තීය සමිති විරෝධය පළ කරයි

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙන ඒම නියමිත යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල වර්තමාන තීරණාත්මක කරුණු සහ මුවාවෙන් සේවක අර්ථසාධක අරමුදල වෙත කරන ලද බලපෑම පිළිබඳව තම විරෝධය දක්වා එක්සත් රාජධානියේ වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන විසින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් ලබාදී ඇත.

එම ලිපියේ සිංහල පර්වර්තනය හා ඔවුන්ගේ විරෝධය දක්වන ඡායාරූප පහතින් දැක්වේ.

සිංහල පරිවර්තනයකි

අතිගරු සරෝජා සිරිසේන මෙය,

ශ්‍රී ලංකා මහ කොමසාරිස්,

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය,

අංක 13, හයිඩ් පාක් ගාඩ්න්ස්,

ලන්ඩන්. W2 2LLU

 

2023 සැප්තැම්බර් 20 වන බදාදා

 

මහ කොමසාරිස්තුමියනි,

ශ්‍රී ලංකාව තුළ කම්කරු නීති ක්ෂේත්‍රය ආශ්‍රිතව සිදු වෙමින් පවතින වෙනස්කිරීම් පිලිබඳව පහතින් අත්සන් තබා ඇති එක්සත් රාජධානියේ වෘත්තිය සමිති සහ සිවිල් සමාජ සංවිධාන විසින් දැඩි සැලකිල්ලක්  යොමු කරනු ලබන අතර මෙහිදී විශේෂයෙන්ම සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ඉලක්ක කරනු ලබන ආකාරයෙන් සිදු කිරීමට යන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා  ගැන දැඩි අවධානය යොමු කරමු.

ඒකීය “එකම කම්කරු නීතියක්” යන කේතය යටතේ කම්කරු නීති සංශෝධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය විසින් යෝජනා කරනු ලැබේ. නිසි ක්‍රියාවලි අනුගමනය කිරීමකින් තොරව පිළියෙල කොට ඇති මෙම යෝජනාවන් තුලින් සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව මර්ධනය විය හැකි  බවට අපගේ අවධානය යොමු වී ඇත.  මෙහිදී විශේෂයෙන්ම පැය 8 ක වැඩ කරන දිනය, කාන්තා සේවිකාවන් රාත්‍රී වැඩ මුර සඳහා සේවයේ යෙදවීම සහ සේවයෙන් පහ කරනු ලැබීමේදී ඒ සඳහා පිහිට පැතීම සහ වන්දි ලබා ගැනීම සඳහා වන අයිතිවාසිකම් යනාදී සේවක ආරක්ෂාවන් ඉවත් කිරීම යනාදී කාරණා සැලකීමේදී සේවකයන්ට කිසිවකුගේ පිහිට පැතීමකින් තොරව සේවා යෝජකයාගේ අනුකම්පාව මත කටයුතු කිරීමට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ ඉතා විශාල ය.

පසුගිය වසර ගණනාවක් පුරා ම  ශ්‍රී ලංකා රජය විසින් අපරානුමත කරන ලද සම්මුතීන් හා සාපේක්ෂව  බැලීමේදී  රටේ දේශීය කම්කරු නීති තුළ යම් අනනුකූලතාවයන් සහ අඩුපාඩු පවතින බවට අයිඑල්ඕ හි අධීක්ෂණ යාන්ත්‍රණයන්ගේ අවධානයට ලක් වී ඇත. එසේ ම, ජාතික ත්‍රෛපාර්ශ්වීය උපදේශක යාන්ත්‍රණ‍යෙන් (ජාතික කම්කරු උපදේශක සභාව)  ඇතැම් වෘත්තිය සමිති අත්තනෝමතික අයුරින් බැහැර කිරීම සම්බන්ධයෙන්ද අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

මීට අමතරව, රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇත. රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර තනිවම දරා ගැනීමට සිදු වන තත්ත්වයක් නිර්මාණය කරමින් කම්කරුවන්ගේ විශ්‍රාම පාරිතෝෂික හෝ  විශ්‍රාම අරමුදල් (සේවක අර්ථසාධක අරමුදල්ද ඇතුළුව) ඉලක්ක කරමින් රජය  විසින් ගනු ලැබූ තීරණය කෙරෙහි ද අප දැඩි සැලකිල්ලක් දක්වන අතර, 2022 වර්ෂයේදී සිදු වූ පෙර නොවූ විරූ ආකාරයේ මුදල් වටිනාකම අවප්‍රමාණය වීමේ ගැටලුව තුලින්  මුහුණ දෙන්නට සිදු වූ, මූල්‍ය  වටිනාකම් වලට බරපතල බලපෑමක් සිදු වූ තත්ත්වය මධ්‍යයේ මෙවැනි තීරණයක් තුලින් අරමුදල් වල ශුද්ධ සහ මූර්ත වටිනාකම් සුවිශේෂී අයුරින් කඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය වේ. මේ සඳහා විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වෙන් කර ගැනීම අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියාවක් වශයෙන් අප විසින් විශ්වාස කරනු ලබන අතර නිසැකවම ඒ ඔස්සේ සමාජයේ ආරක්ෂාව  සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වල අනාගතය තිරසරභාවයද බරපතල අයුරින් අනතුරෙහි හෙලනු ඇත.

පහත ආකාරයෙන් කටයුතු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ වෘත්තිය සමිති සහ සිවිල් සමාජ සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයෙන් සහ මහ බැංකුවෙන් සිදු කරන ලද ඉල්ලීම් සඳහා අපගේ සහයෝගයද පළ කර සිටිමු.

  • “එකම කම්කරු නීතියක්” යන වර්තමාන නීති සංශෝධන අත්හිටුවා අන්තර්කරණයෙන් යුතු, විනිවිද පෙනෙන සුළු, ප්‍රජාතන්ත්‍රවාදී සහ බහුපාර්ශවකාර නියුක්ත වීමේ ක්‍රියාවලියක් සඳහා ඉඩකඩ සලසනු ලබන පරිදි අදාල සියලු වෘත්තිය සමිති සහ ත්‍රෛපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගේ  සහභාගිත්වයෙන් යුක්තව කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා වන නව සහ අව්‍යාජ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට
  • සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ඉලක්ක කරගනු ලබන ආකාරයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් පිලිබඳ සියලු තීරණ ගැනීම් අත්හිටුවීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සියලු අංශ නියෝජනය වන පරිදි වෘත්තීය සමිති වල පුළුල් සහභාගිත්වයක් සහිතව මුදල් මණ්ඩලය සමග සාකච්ඡාවක් ඇරඹීම

අපගේ සැලකිල්ල යොමුවී ඇති කාරණා ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කිරීම සඳහා සහ අව්‍යාජ සමාජ සංවාද ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සඳහා ඔබගේ උපකාරය ලබාදෙන ලෙසට අප විසින් කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

අත්සන් කරන ලද්දේ :

අසාද් රේමන්- War on Want

ඩොමිනික් මුලර් -Labour Behind the Label

ඇන්ඩි ෆ්‍රෙන්ඩගෑස්ට්- GMB

මට් රැක්- Fire Brigade Union

පාරේෂ් පටේල්- Unite the Union

පැඩී ලිලීස්- Union of Shop, Distributive and Allied Workers (USDAW)

රොසේන් හෝයර්-ස්කොට්ලන්ත වෘත්තිය සමිති කොංග්‍රසය

ශවානා ටාජ් -වේල්ස් වෘත්තිය සමිති කොංග්‍රසය

ස්ටෙෆන් රසල්-වෘත්තිය සමිති කොංග්‍රසය

ලී බැරෝන්-නැගෙනහිර මිඩ්ලන්ඩ් වෘත්තිය සමිති කොංග්‍රසය