රට පුරා ස්ත්‍රීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වයේ සීඝ්‍ර වර්ධනයක් - ස්ත්‍රී මධ්‍යස්ථානය

රට පුරා ස්ත්‍රීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වයේ සීඝ්‍ර වර්ධනයක් - ස්ත්‍රී මධ්‍යස්ථානය

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය එළඹෙන නොවැම්බර් 25 වන දිනට යෙදී තිබුණි. මෙවන් වාතාවරණයක් තුල වර්තමානයේ රට පුරා ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ස්ත්‍රී මධ්‍යස්ථායේ, විධායක අධ්‍යක්ෂිකා පද්මිණී විරසූරිය මහත්මියගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කුරුණෑගල ප්‍රදේශයේදී බස් රථයක් තුළදී රියැදුරු, කොන්දොස්තර සහ තවත් තරුණයෙකු විසින් පහළොස් හැවිරිදි පාසැල් සිසුවියක් අමානුශික බලහත්කාරකමකට ලක් කරන ලදි. එසේම බදුල්ල ප්‍රදේශයේ අවුරුදු එක හමාරක ළදැරියක් හැට තුන් හැවිරිදි ඇගේම සීයා අතින් ලිංගික අතවරයට ලක්වූ පුවතක් ද වාර්තා වෙයි. තවද තමා සේවය කරන ආයතනයේදීම  ආයතන ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ අතින් හිංසනයට ලක් වූ කාන්තාවක් ගැනද කඳාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එවැනිම වූ තවත් සිද්ධියක් වන්නේ පිළියන්දල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් තුලදී කාන්තාවකට අමානුශික අයුරින් පහරදීමක්ද වේ. මේවා ගැන කතා කරන්නට ගොස් රටේ ඉහළම ස්ථානයේදි මන්ත්‍රී වරියක්ද ශාරීරික හා වාචික හිංසනයට ලක් වූවාය.

මේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සනිටුහන් කෙරෙන මෑතකදී සිදු වූ සිද්ධි කිහිපයක් පමණි යැයි අපට ඇස, කට වසා ගත නොහැක. මාධ්‍යයන්හි හෝ පොලිසියට වාර්තා නොවුණු සිද්ධි තව කොතෙකුත් නම් තිබේද?

පොලිස් වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ජනගහනයෙන් හතරෙකින් එක අයෙකු කිනම් හෝ ලිංගික අතවරයකට ලක් වූ අය වෙයි. එසේම දිනකට ස්ත්‍රී දූෂණ තුනක් ශ්‍රී ලංකාව තුළ කොතැනක හෝ සිදු කෙරෙන බවටද වාර්තා වී ඇත.

2023 පොලිස් මූලස්ථාන සංඛ්‍යා ලේඛන අනුව,

ළමයින්ට සිදුවන අපරාධ 2331,

ස්ත්‍රී අපයෝජණ 1150

කාන්තාවන්ට එරෙහි සිදුවන අපරාධ 710 (මිනී මැරුම්, පහරදීම්,බරපතල අපරාධ) - සුලු අපරාධ

ළමුන්ට එරෙහි  2092

ළමුන්ට ලිංගික අතවර 1086

කාන්තාවන්ට එරෙහි සුලු අපරාධ 6234

කාන්තාවන්ට එරෙහි ලිංගික අතවර 1765

වෙනත් අපරාධ 2978 (පහරදීම්)

මෙබඳු සිද්ධි පිළිබඳව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වූ මුහුණු පොතෙන් සමහරු කතා කරන්නේ මේ සියලු හිංසනකාරී තත්ත්වයන් සමනය කිරීමට කටයුතු කළ යුතු වන්නේ කාන්තා සමාජ ක්‍රියාකාරිනියන් හෝ කාන්තා සංවිධාන බවයි. එය සෑම පුරවැසියෙකුගේම සමාජ වගකීම බව බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත. ඇය පිරිමින්ගේ මව, බිරිඳ, සොහොයුරිය, දියණිය හෝ මිත්තණියක වෙයි. නමුත් එම නිසා පමණක් නොව කාන්තාවක් වීම නිසාම සමාජය තුල කාන්තාවන්ට හිමි ගරුත්වය ලබා දිය යුතුයි. ඔවුන්ට ආරක්ෂාව සැලසීම හැම පිරිමියෙකුගේම වගකීම වෙයි. ඒ සඳහා ක්‍රියාත්මක වීම ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශවයේම සහයෝගයෙන් කළ යුතු කාර්යයකි.

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. මෙම කරුණු කාරණාවලට  අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තරව සම්මත කෙරුණු සම්මුති මෙන්ම ප්‍රඥප්ති ගණනාවකට ශ්‍රී ලංකාවා එකඟතාවය පළකොට ඒවා ක්‍රියාත්මක කිරීමට අත්සන් තබා ඇත. එහෙත් එම ප්‍රඥප්ති හා සම්මුති පොත්පත් ලිපි ලේඛණ වලට පමණක් සීමා වී ඇති බව අදාළ ආයතන හා දෙපාර්තමේන්තු කටයුතු කරන ආකාරයෙන් සනාථ වෙයි.

කුරුණෑගල සිද්ධියේ දූෂකයා හා උදව් කළ දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගත් බව පැවසෙතත් එතැනින් එහාට දිගු නිහැඬියාවකි. බොහෝවිට බලවතුන්ගේ මැදිහත් වීම් වලින් පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටද බොහෝ ඉඩ කඩ ඇත.

ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රබල එමෙන්ම දැවැන්ත සමාජ මතවාදයක් ගොඩ නැගිය යුතුව ඇත. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ, දුප්පත් පොහොසත්, ගම්බද නගරබද, ජාති, කුලමල භේදවලින් තොරව ඒකරාශීව හඬක් නැගිය යුතුව ඇත. හිංසනය සිදුවන්නේ නිවස තුළ, පාසැලේ, සේවා ස්ථානයේ, රෝහලේ, මග තොටේ හෝ කුමන ස්ථානයක විය හැක. ඒ පිළිබඳව මුලු මහත් සමාජයම අවදියෙන් සිටිය යුතු අතර විරෝධය පළ කරන්නට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව එම මොහොතේදීම කටයුතු කරන්නට ඉදිරිපත් විය යුතුය.

මෙම ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව ජන මාධ්‍යය දරන නිහඬතාවයද කණගාටුදායකය.

ඉන්දියාවේ සාමූහික දූෂණයට ලක්වූ  ‘නිර්භයා‘ ගේ සිද්ධිය හා ඒ සඳහා දියත් වූ විරෝධතා ව්‍යාපාරය අප විසින් මතක් කර ගත යුතුව ඇත.

ස්ත්‍රීන්ට හා ගැහැණු දරුවන්ට එරෙහිව සිදු කෙරෙන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පළ කරමු. සියලු ආකාරයේ හිංසනයන් පිටු දකිමු. ඒ සඳහා සියලුම ආකාරයේ  බහුජන සංවිධාන, කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන හා වෘත්තිය සමිති වශයෙන් ඒකරාශී වෙමු. එරෙහිව හඬ නගමු.

ස්ත්‍රීන්ට හා ගැහැණු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක් ලබා දීමට අත්වැල් බැඳ ගනිමු!