විදුලි බලය සැපයීමට පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම අනුමැතිය

විදුලි බලය සැපයීමට පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම අනුමැතිය

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව විදුලිබලය සැපයීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සකස් කිරීම සඳහා විදුලිබල විෂයභාර අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත.

ඒ අනුව, දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස හයක් (06) වශයෙන් තීරණය කරනු ලැබ තිබේ. එහෙත්, ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණ පෑමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස තුනක් (03) වශයෙන් සංශෝධනය කිරීමටත්, ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති යැවුම් විගණන (Dispatch Audit) ක්‍රියාත්මක කිරීමට සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමටත් හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.