“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට ඡන්දය දෙන්න එපා” සහ ජනතාවගේ කට වසන නීති එපා - නීතීඥ සාමූහිකය

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට ඡන්දය දෙන්න එපා” සහ ජනතාවගේ කට වසන නීති එපා - නීතීඥ සාමූහිකය

යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (Online Safety Bill – OSB) සම්බන්ධයෙන් පැවැත්වෙන මහජන සම්මන්ත්‍රණය සහ සංවාදයට සහභාගී වන්නැයි, වගවීමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට කැප වී සිටින පුරවැසියන්, සංවිධාන ඇතුළු සියලුදෙනාට නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන මෙමඟින් ආරාධනා කරයි. මහජනතාව පළ කරන අදහස් මත ආණ්ඩුවට මෙම පනත් කෙටුම්පත ඉවත් කරගැනීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී වගකීම් සහගතව ඡන්දය භාවිත කිරීමටත් ධෛර්ය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකා රජය 2023 සැප්තැම්බර් 15 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ සහ 2023 ඔක්තෝබර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන මීට පෙර සිය සැලකිල්ල ප්‍රකාශයට පත් කරන ලදි. වසර 75ක් මුළුල්ලේ අප දන්නා හඳුනන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පෝෂණය කෙරුණු භාෂණයේ නිදහස, තොරතුරුවලට ඇති නිදහස, සිතීමටත් හෘදය සාක්ෂියටත් ඇති නිදහස යනාදී පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස මෙම පනත් කෙටුම්පතින් පාලනය කිරීමටත්, සීමා කිරීමටත් උත්සාහ ගන්නා බව අපගේ අදහසයි. එබැවින් මෙම පනත් කෙටුම්පත අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර ඇති ඉතා වැදගත් අයිතිවාසිකම් සහ රාජ්‍යන් විසින් අනුගමනය කිරීම සදහා කැපවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මූලධර්ම උල්ලංඝනය කරයි.

අධිකරණයේ ක්‍රියා පටිපාටි ද ඇතුළුව නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වෙමින් පවතී. මෙය කඩිමුඩියේ සිදු කෙරෙන නමුත්, මෙම ඉතා ප්‍රශ්නකාරී නීතිය සහ ප්‍රතිපත්ති සම්පාදනය පුරවැසියන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම සලකා බැලීමටත්, පනත් කෙටුම්පත පිළිබඳව අපගේ අදහස් ප්‍රකාශ කිරීමටත් අපට සීමිත කාලයක් තිබේ. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩුව සහ ස්වෛරී ජනතාවක් අතර සමාජ ගිවිසුම සහ නීතියේ ආධිපත්‍ය සඳහා වන බරපතළ ඇඟවුම් අප සලකා බැලිය යුතුය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කෙරෙන මෙම වැදගත්  සංවාදය සදහා, සහභාගී වන ලෙස නීතිඥ සාමූහිකය ඔබට ආරාධනා කර සිටී. මෙම සම්මන්ත්‍රණයේ දී පනත් කෙටුම්පතේ අන්තර්ගතය සහ එහි බලපෑම සම්බන්ධයෙන් කෙටි ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිත ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද මෙම සම්මන්ත්‍රණය සහ සංවාදයට ආරාධනා කරන අතර එහිදි මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අප දරන ස්ථාවරය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමට මෙම පනත් කෙටුම්පතින් එල්ල වන තර්ජනය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට ද නීතිඥ සාමූහිකය බලාපොරොත්තු වේ. ඔවුන් මෙම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කර ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපි විශ්වාස කරමු. 

සහභාගීත්වය සඳහා විස්තර:

දිනය: 2023 නොවැම්බර් 6 සඳුදා - වේලාව: සවස 3.00 - ස්ථානය: ශ්‍රී ලංකා පදනම් ආයතනය.

නීතීඥ සාමූහිකය වෙනුවෙන්,

ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න

මහාචාර්ය, නීතීඥ සාවිත්‍රි ගුණසේකර

ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය

ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්

ජනාධිපති නීතීඥ ඩිනාල් ෆිල්ප්ස්

ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ

ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

ජනාධිපති නීතිඥ නලින් දිසානායක

මහාචාර්ය දීපිකා උඩගම

නීතීඥ උපුල් කුමරප්පෙරුම

නීතිඥ කේ.ඩබ්ලියු ජනරංජන

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

නීතිඥ අර්මිසා ටීගල්