මෙරට සියලුම ශ්‍රමිකයන් ආවරණය වන පරිදි "සමාජ ආරක්ෂණ ක්‍රමයක්"

මෙරට සියලුම ශ්‍රමිකයන් ආවරණය වන පරිදි "සමාජ ආරක්ෂණ ක්‍රමයක්"

මෙරට සියලුම ශ්‍රමිකයන් ආවරණය වන පරිදි ‘සමාජ ආරක්ෂණ ක්‍රමයක්’ හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මාස හයක කාලයකදී එම වැඩපිළිවෙළ සකස් කරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.

එමෙන්ම ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ‘රැකී රක්ෂා පනත’ මගින් රැකියාවක් සිදුකිරීමේදී ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස්කොට සැලකීම් නවතා දැමීමට හැකි පරිදි නව නීති ගෙන එන බව ද ඇමැතිවරයා කීවේය.

මෙරටට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ විශේෂ නියෝජිත පිරිස සහ ඇමැතිවරයා අතර පෙරේදා (01 වැනිදා) පස්වරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක් අතරතුරදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රමිකයන්ගේ සාමාජ සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ තත්ත්වය උසස් කිරීමට අදාළව සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් ලබා ගැනීම ද රජය විසින් සිදුකරන බව හෙතෙම එහිදී පැවසුවේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සහ ඇමැති මනූෂ නානායක්කාර අතර මෙරටට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

එහිදී මෙරටට ජී.එස්.පී. ප්ලස් සහන අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය. රැකී රක්ෂා පනත ගෙන ඒම මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කර ඇති සම්මුතීන් රැසක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවන බව ද ඇමැතිවරයා අදාළ නියෝජිතයන්ට එහිදී පෙන්වා දුන්නේය.