සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු විෂය ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු විෂය ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් හට පැවරි ඇති විෂය පථය සහ කාර්යභාරය පිළිබද කරුණු විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විඡේසූරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය II වැඩ ආවරණ) වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා‌) වෛද්‍ය ආනන්ද ජයලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය සුදත් ධර්මරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය I) වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, යන නිලධාරීන් තම විෂය පඨයට අදාලව සෞඛ්‍ය අමාත්‍යතුමා දැනුවත් කරමින් කරුණු ඉදිරිපත් කරන ලදි.

මානව හා භෞතික සම්පත් සංවර්ධනය, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් අත්‍යාවශ්‍ය මූල්‍යමය පහසුකම් පිළිබදව, දැනට රෝහල්වල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබදව, ඩෙංගු රෝගය පාලනය හා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවලේ වත්මන් තත්ත්වය, ජලභීතිකාව පාලනය, ක්ෂය රෝගය පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට ගෙන ඇති පියවර සහ ඉළක්කයන්, ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණූ කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, බෝවන හා බෝනොවන රෝග වලින් ජනතාව මුදවා ගැනීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල, රසායනාගාර පහසුකම්හි වත්මන් තත්ත්වය, ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල ඒ අතර විය.   

විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට  ක්‍රීයාත්මක කිරිම සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපකරණ ඇතුලු අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව කටයුතු කරන ලෙසට මෙහිදි අමාත්‍යවරයා  උපදෙස් ලබාදෙන ලදි.

පාසල් දන්ත චිකිත්සකවරුන් දහසක ප්‍රමාණයක් මෙරට දන්ත සෞඛ්‍ය සේවා කටයුතු සදහා අවශ්‍ය නමුත් දැනට සේවා කටයුතු වල නිරත වන සංඛ්‍යාව 350 ක් බව ද මෙහිදී අනාවරණය වූ අතර, හිඟ චිකිත්සකවරුන් පුහුණූ කිරිම සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර පුහුණු කිරීම් කඩිනම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා  මෙහිදි උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සමන් රත්නායක, ගීතාමනී කරුණාරත්න, වයි.එල්.එම් නවාවි, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ප්‍රධාන මුල්‍ය  නිලධාරී ජී.එස් කරුණාරත්න යන මහත්ම මහත්මින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.