ආඝාතය හෙවත් අංශභාගයට ප්‍රතිකාර කිරීම  සම්බන්ධව මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ

ආඝාතය හෙවත් අංශභාගයට ප්‍රතිකාර කිරීම  සම්බන්ධව මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ

ආඝාතය හෙවත් අංශභාගය රෝගයට ප්‍රතිකාර කිරීම  සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය  එළිදැක්වීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඉදිරියේ දී මෙරට ආඝාත ප්‍රතිකාර සේවාවන් සදහා වැදගත්වන  සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති අතර මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම  සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ  සායනික විශේෂඥයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශය  උපකාරී වනු ඇත.

ආඝාත රෝගී තත්වයෙන් පෙළෙන පුද්ගලයන් වෙත කවර ආකාරයේ ප්‍රතිකාර සහ සේවාවන් ලබා දිය යුතුද යන්න සහ එමගින් අපේක්ෂිත ප්‍රතිඵල මත පදනම්ව ප්‍රතිකාර සේවා  සැලසුම් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන අතර  වෛද්‍ය, හෙද, පරිපුරක හා අතුරු වෛද්‍ය, අභ්‍යාසලාභී මෙන්ම ආඝාත රෝගයෙන් පෙළෙන පුද්ගලයන් බලා ගන්නා සත්කාර සේවා සපයන අයටද  අධ්‍යාපනික මෙවලමක් වශයෙන්ද මෙය  යොදා ගැනීමට හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය  ජී.විජේසුරිය මහතා ප්‍රධාන එම අංශය මගින් මෙම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය සම්පාදනය කොට ඇත.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජි. විජේසූරිය මහතා විසින් මෙම ජාතික මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත පිළිගැන්වීම  සිදු කල අතර ශ්‍රී ලංකාවේ ආඝාත ප්‍රතිකාර සහ සේවාවන් වලට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ට  අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ  ලබා ගැනීමේ පහසුකමද මෙහිදී ආරම්භ කරන ලදී .   http://www.health.gov.lk/ යන වෙබ් පිටුව පරිශීලනය කරීමෙන් අවශ්‍ය කෙනෙකුහට ඊට අදාල දැනුම ලබා ගත හැක.

ලොව පුරා සිදු වන වැඩිහිටි මරණ වලින් දෙවන ස්ථානයට ආඝාත රෝගී තත්වය හේතු වන අතර එය වැඩිහිටියන් අතර දුබලතා ඇති කිරීමේ ප්‍රධානතම සාධකය ද වෙයි. යම් පුද්ගලයන් 4 කින් 1 ක් අයකුට තම ජීවිත කාලය තුල ආඝාත රෝගී තත්වය ඇති වීමේ සම්භාවිතාවක් ඇත. මෙරට  පුද්ගලයන් 1000 කින් 10 දෙනෙකු ආඝාත රෝගී තත්වයට පත්ව එහෙත් ජීවිතය බේරා ගැනීමේ හැකියාව ලබයි. යම් පුද්ගලයෙකු ආඝාත රෝගී තත්වයට පත්වුහොත් ඉන් 20% රෝගී තත්වය ඇතිවීමෙන් වසර 01 ක් තුල මිය යෑමේ අවදානමක් ඇති අතර 50% එබඳු රෝගීන් කායික හෝ මානසික, දෘශ්‍ය, කථන හෝ සමබරතාව සම්බන්ධ ගැටළු ආදී දුබලතාවන්ට ලක් වේ.

මෙම මාර්ගෝපදේශය සකස් කිරීමේ දී එහි කර්තෘ මණ්ඩලය ලෙස ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්  වන  පද්මා ගුණරත්න, සමීර් මොහිද්දීන්, ස්නායු රෝග පිළිබද   මහාචාර්යවරුන් වන තාසි චෑන්ග්, මහාචාර්ය ජිතාන්ගි වනිගසුරිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා යන මහත්ම මහත්මින් කටයුතු කර ඇති අතර උපදේශණ  මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ‌ය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, වෛද්‍ය සංගම් ,  සුව සැරිය පදනම, සමාජ සේවා දෙපාර්තුමේන්තුව යන ආයතන නියෝජනය කරමින් විශේෂඥයින්, විද්වතුන් දායකත්වය දක්වා ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ....

මෙම මාර්ගෝපදේශය සකස් කිරීම සදහා තම අප්‍රතිහත දායක්වය සහ කැපවීමෙන් කටයුතු කළ සායනික, වෛද්‍ය පරිපාලන සහ සියලුම අංශවල වෘත්තීයවේදීන් මෙහිදී අගය කරන බවත් ,   ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ආඝාත  ප්‍රතිකාර  සේවාවන් වෙනුවෙන්  මෙම ජාතික මාර්ගෝපදේශයේ දැක්වෙන නිර්දේශයන් ස්ථාපිත කිරීමටත්, එම සේවාවන් ප්‍රවර්ධනය කිරීමටත් මේ සදහා දායකත්වය දැක්වූ සියලු දෙනාට තම විශේෂ ස්තූතිය පුද කරන බවය.

මෙයට වසර 25කට පෙර අප වෛද්‍ය  ශිෂ්‍යයින්  වශයෙන් ස්නායු රෝග පිළිබඳව සායනික අධ්‍යනවල   නිරත වූ ආකාරයත් එහිදී විශේෂඥ වෛද්‍ය  පද්මා ගුණරත්ණ  මහත්මිය ආඝාත ප්‍රතිකාර  සම්බන්ධයෙන් දක්වන ලද විශේෂ සැලකිල්ල  අපට මතකයට නැගෙන බවත්  එම කාල සීමාවේදී  සිය දිවි නසා ගැනීම් මෙන්ම වයස්ගත වන ජනගහනයක් සිටීම ශ්‍රී  ලංකාවේ මුලික ගැටලු ලෙස පැවතියාක්  මෙන්ම දැනටත් අප ආසියාවේ මෙන්ම ලොව වේගවත් වයස්ගතවීමක් සහිත රටවල් වලින් එකක්  එම ගැටළු වලට මුහුණ පාමින් සිටින බවද පැවසීය .

වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා....

“ එසේම බෝ වන රෝග අඩු වෙමින් පැවතියත්, බෝ නොවන රෝග අප අතර වැඩි වීමේ ගැටලුවකට පරිවර්තනය වීම මෙම ජනගහනය වයස්ගත වීමේ ගැටලුවත් සමග ඇතිවී තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍යය  සම්බන්ධයෙන්  අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාත වැනි රෝග නිසා වැඩි බරක් අපට දැරීමට සිදුව තිබෙනවා.

මෙම ගැටලුව වලට විසඳුම් සෙවීම අදාළ සියලුම පාර්ශව වල දායකත්වයෙන් සිදු  විය යුතු දෙයක්. එනම්, සෞඛ්‍යය  අමාත්‍යාංශය , විශේෂඥ වෛද්‍ය  අංශ, තාක්ෂණික අංශ, මෙන්ම පොදු ජනතාව සහ ප්‍රජා සහභාගිත්වය මේ සඳහා අවශ්‍යය   කැපවීම  ලබා දිය යුතු වෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ස්නායු රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජී.විජේසුරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ආනන්ද ජයලාල්, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද, රෝහල් හා වෛද්‍ය ආයතන නියෝජනය කරමින් වෛද්‍ය පරිපාලකයින් ද, මෙයට දායකත්වය දක්වන ලද විද්‍යාතන නියෝජනය කරමින් විද්වතුන් ද, විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.