මුලින් උපුටා දැමූ සහ රටින් තුරන්කල රෝග නැවත වසංගත තත්වයට පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ වැරැද්දක්

මුලින් උපුටා දැමූ සහ රටින් තුරන්කල රෝග නැවත වසංගත තත්වයට පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ වැරැද්දක්
  • ආගම් ඇදහිල්ලේ හෝ එන්නත් ප්‍රතික්ෂේප කිරීම පිට පටවා සරම්ප රෝග මර්ධන වැඩ සටහන් පාලනය නොකල අයට ගැලවෙන්න බැහැ
  • නිවාරණ වැඩ සටහන් වලට වඩා වේගයෙන් එක සෛලයක්වත් හරියට නැති වෛරස, බැක්ටීරියා පවා දියුණු වෙනවා

2019 වර්ෂයේදී සම්පූර්ණයෙන්ම තුරන් කල සරම්ප රෝගය, නැවත මතුවීම සහ එය වසංගත තත්වයකට පත්වෙමින් තිබීම,  මහජනතාව එන්නත් ප්‍රතික්ෂේප කිරීම හෝ ආගමික ඇදහිලි මත පටවලා ගැලවෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැහැ. තුරන් කර තිබූ රෝගයකින්, මාස කිහිපය තුල රෝගීන් හත්සියයක් වාර්ථාවීම වසංගත තත්වයකට ආසන්න වීමක්. එය මතුපිටින් නොබලා, අතිශය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි.

2019 වර්ෂයෙන් පස්සේ රටේ මිනිස්සු වැඩිපුර ආගම් අදහන්න ගත්තා කියලා කොහේවත් වාර්ථාවක් නැහැ. එන්නත් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් එහෙම අලුත් වෙච්ච වාර්ථාවක් කොහේවත් නැහැ. ඒ නිසා මහ ජනතාව පිට පටවලා මේ වරදෙන් ගැල වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැහැ.

මේ වරද මර්ධන වැඩසටහන් කළමනාකරණය කල අය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පාළණය කල අය භාර ගන්න ඕනේ.

සරම්ප විතරක් නෙවෙයි, මුලින් උපුටා දැමූ (Eradication) සහ සහමුලින්ම තුරන් කල (Elimination) කල ළාදුරු, මැලේරියා, බරවා රෝග සියල්ලම මේ වන විට යලි හිස ඔසවමින් තියෙන්නේ. පාලනය කල ඩෙංගු, ඒඩ්ස් වැනි රෝගත් සංඛ්‍යාතමකව විශාල වැඩිවීමක් තිබෙනවා. ඒකේ වගකීම ජනතාව පිට පටවලා අත පිහදා ගන්න වසංගත රෝග අංශයට බැහැ.

ඒ අය ළඟ තියෙන්නේ යල් පැන ගිය ගතානුගතික ක්‍රම. ඒ අය ලෝකේ පුරා හැමදාම පුහුණු වෙනවා. ලෝක ආධාර අති විශාල ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙනවා. නිවාරණ අංශයට තමා සෞඛ්‍ය සේවාවේ වැඩිම ආධාර ප්‍රමාණයක් ලැබෙන්නේ. වැඩිම විදේශ පුහුණුවලට යන විශේෂඥයින්  ඉන්නෙත් ඒ අංශයේම තමයි.

උද්දච්ඡ මනස්වල ඉන්න, සාමූහිකව හැමෝමත් එක්ක සාකච්ඡා කරලා තීන්දු ගන්න අකමැති, තමන් කියන එක විතරක් හරි කියලා හිතාගෙන ඉන්න, හැම තනතුරම, හැම පුහුණුවම තමන්ගේ හිතවතුන් අතරේ බෙදා ගත්ත පහුගිය කාලය තුල නිවාරණ අංශයට අරක්ගත් ප්‍රධානීන් සහ ඒවාට අනුබල දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල පරිපාලකයින් මෙම කඩා වැටීමට සෘජු ලෙසම වහකිව යුතුයි.

පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය සේවාවේ කඩා වැටීම පිළිබඳ පැහැදිළි දර්ශකයක් විදිහට මෙම බැරෑරුම්ව සලකන්න ඕනේ. සෞඛ්‍ය සේවාවේ ඇතැම් පාලන වැරදි සායනික විශේෂඥතාවයෙන් විතරක්ම නිවැරදි කරන්න බැහැ. රෝග නිවාරණ වැඩසටහන් බොහොමයක් යල් පැන ගිහිල්ලා. සමහර වැඩ සටහන් ආධාර ටික බෙදා ගන්න හදන රාජ්‍ය නොවන සංවිධාන අකෘතියට බිඳ වැටිලා.

ඒ නිසාම මේ තත්වය එක රෝගයක ගැටළුවක් විදිහට ලඝු කර ගන්නේ නැතුව සමස්ථ සෞඛ්‍ය සේවාවේ කඩා වැටීමක් ලෙස සලකලා, දියුණු සහ නවීන කළමනාකරණ අහැකින් විසඳීම සඳහා රජයේ ඉහල අවධානය යොමු විය යුතුයි. එක් එක් පෞද්ගලික මත අනූව තීරණ ගැනීම වෙණුවට, සමස්ථ නිවාරණ වැඩ සටහන් වල කාර්යක්ෂමතාය බාහිර ආයතනයක් හරහා විද්‍යානුකූලව තක්සේරු කිරීම මෙම ගැටළුව හඳුනා ගැනීමේ පළමු කටයුත්ත ලෙස සිදුකරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

ravi kumudesh 10

| රවී කුමුදේශ්

සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය