ඔක්සිජන් වෙනුවට කාබන් ඩයයොක්සයිඩ් ලබාදීමේ අනතුරක අවධානමක් පවා ඇති වෙන්නේ යන්ත්‍ර නිසිලෙස නඩත්තු නොකිරීම නිසාය - රවි කුමුදේස්

ඔක්සිජන් වෙනුවට කාබන් ඩයයොක්සයිඩ් ලබාදීමේ අනතුරක අවධානමක් පවා ඇති වෙන්නේ යන්ත්‍ර නිසිලෙස නඩත්තු නොකිරීම නිසාය - රවි කුමුදේස්
  • අදාල වෙන්ටිලේටර් යන්ත්‍රයේ පින් දර්ශක පද්ධතිය විකෘත්ති වූයේ කෙසේද ?

ශ්‍රී ලංකා ජාතික රෝහල තුල රෝගියෙකු සඳහා ලබා දිය යුතු ඔක්සිජන් වායුව වෙනුවට, කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දීම හේතුවෙන් රෝගියෙකු මිය යෑම පිළිබඳ වාර්ථාව හෙද සංගමයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත. නමුත් එම ශල්‍යකර්මය අතර තුර ඔක්සිජන් සැපයුම නතර වූ බවත්, ඒ මොහොතේ සෞඛ්‍ය සහයයෙකු විසින් කාබන්ඩයොක්සයිඩ් ස්ලින්ඩරයක් අදාල සැපයුම වෙත සම්බන්ධ කිරීමට උත්සාහ කල බවත්, එය හෙද නිලධාරීන් විසින් වැලැක්වූ බැවින් එසේ සිදු නොවූ බවත් ඒ එම සංගමය ප්‍රකාශ කර ඇත. ඒ අනූව සත්‍ය කුමක් වුවත් ඔක්සිජන් සැපයුම අඩාල වීම සහ කාබන්ඩයොක්සයිඩ් ලබා දමට උත්සාහ කිරීමේ සිදුවීමක් සිදු වී ඇති බවත්, වරදක් සිදු වුවද රෝගියා වෙනුවෙන් සාක්ෂි දීමට ඉතිරිව සිටි රෝගයා මිය ගොස් ඇති බැවින් අපි එම ප්‍රකාශය සමග ගැටීමේ ප්‍රතිඵලයක් නැත.

නමුත් සෞඛ්‍ය සහයකයෙකුට එසේ උත්සාහ කිරීම පවා සිදු කිරීමට නම් අදාල යන්ත්‍රයෙහි පින් දර්ශක පද්ධතිය (Pin Index) කිසියම් විකෘත්තියකට ලක්ව තිබිය යුතුය.

පින් දර්ශක පද්ධතිය යනු වෛද්‍ය ගෑස් සිලින්ඩර නිවැරදිව උපකරණවලට සම්බන්ධ කර ඇති බව සහතික කිරීම සඳහා භාවිතා කරන ප්‍රමිතිගත පද්ධතියකි. ශල්‍යාගාරයක වාතාශ්‍ර යන්ත්‍රයක (Ventilator) පින් දර්ශක පද්ධතිය ඔක්සිජන්, නයිට්‍රස්ඔක්සයිඩ් හෝ කාබන්ඩයොක්සයිඩ් වැනි විශේෂිත වෛද්‍ය වායු යන්ත්‍රය වෙත නිසි ලෙස සම්බන්ධ කර ඇති බව සහතික කරයි.

සෑම ගෑස් සිලින්ඩරයක්ම සහ යන්ත්‍රය මත ඇති අනුරූප ඇතුල්වීම විවිධ වායූන් සඳහා නම් කරන ලද විශේෂිත අල්පෙනති (හෝ පින් ස්ථාන) ඇත.

නිදසුනක් ලෙස, ඔක්සිජන් වල වැරදි සම්බන්ධතා වැළැක්වීම සඳහා කාබන්ඩයොක්සයිඩ් වලට වඩා වෙනස් පින් වින්‍යාසයක් පවත්වා ගැනීම පෙන්වා දිය හැක. මෙමගින් අහම්බෙන් හෝ වැරදීමකින් වායූන් මිශ්‍ර වීම වැළැක්වීම මගින් රෝගියාගේ ආරක්ෂාව තාක්ෂණිකවම සහතික කර ඇත.

එනයින් ජාතික රෝහලේ අදාල සිදුවීම සිදුවූවා හෝ වීමට ගොස් වලක්වා ගැනීම යන කරුණු දෙක මඟින්ම, මෙකී යන්ත්‍රය නියමාකාරයෙන් නොතිබූ බව තහවුරු වෙයි.

එසේනම් එම යන්ත්‍ර එලෙස විකෘති කරමින් රෝගීන් අනවශ්‍ය අවධානමකට ලක් කලේ කවුද? ඒසේ කිරීමට සිදු වූයේ කුමක් නිසාද? එම යන්ත්‍ර අළුත් වැඩියාව නිවැරදි ආකාරයෙන් සිදු නොවීමේ වග කිව යුත්තා කවුද? ජාතික රෝහල වැනි විශාල ආයතනයක මෙවැනි ගැටළු විසඳීමට අදාල ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු පත් නොකරන්නේ කුමක් නිසාද?

රෝගියා මිය ගොස් අවසන්ය.  ඇය වටා ඒ මොහොතේ සිටි කිසිවෙකුට හෝ ඇය වෙනුවෙන් සාක්ෂි දිමට නොහැකි බවද ඉතා පැහැදිළිය.

එනිසාම රෝගියාට නැවත පන දුන්නද මෙම විමර්ෂණය සදහා ඇයට සිදුවූ අසාධාරණය තහවුරු කිරීමට ඇයට සාක්ෂි සපායා ගැනීම අපහසුය.

එනිසාම, සෞඛ්‍ය ඇමතිවරයාගේ විමර්ෂණ කණඩායම අවම තරමින් ඉහත ගැටළු කෙරෙහි අවධානය යොමු කලහොත්, ඉදිරියේදී එවන් තත්ත්වයක් ඇති වීම වලක්වා ගත හැකිය.

ravi kumudesh 10

| රවී කුමුදේශ්

සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය