කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය පංච පුද්ගල කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය පංච පුද්ගල කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර  රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබද වැඩිදුර සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම් ව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණු ප්‍රකාශ කරන ලද්දේ (24) දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් කමිටුව මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ අදාල විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා සිදු කරන බවත්, මෙම විද්වත් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා බවද පැවැසීය. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක්, රුධිර අංශයේ වෛද්‍යවරියක් ඇතුලු විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් වශයෙන්  මෙම කමිටුවට පත් ඇති බව ද පැවැසීය.

ඉහත සිදුවීම පිළිබදව සම්පූර්ණ සොයා බැලීමක් සිදු කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස කමිටුවට දැනුම් දී ඇති බව ද පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා - “කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුබද්ධිත රුධිර කාන්දුකරණ ඒ්කකයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 130 ක්, 135 ක් පමණ වෙනවා. මේ රෝගීන්ට දැනට අවශ්‍ය වකුගඩු රුධිර කාන්දුකරණ කටයුතු සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් 05 ක එම කටයුතු සිදුවන බැවින් එම රෝහල්වෙත යොමු කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම, නිකවැරටිය වැනි රෝහල් වෙතටයි. රෝගීන්ට අපහසුතාවයක් නොවන විදිහට එම රෝහල්වල දැනට එම කටයුතු කිරීම සදහා රෝගීන් යොමු කිරිමට පියවර ගෙන තිබෙනවා. එම රෝගීන්ට අදාල රෝහල් වෙත යාම සදහා ගමන් පහසුකම් රෝහල විසින් සපයා දෙනු ලබනවා. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩලය එම රොහල් වෙත ගොස් එක් එක් රෝහලේ කාර්ය මණ්ඩලවලට සහයෝගය ලබාදීමට ද තීරණය කර තිබෙනවා.”

“කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙම විද්වත් කමිටුව ඉහත කරුණු පිළිබදව සොයා බලා වාර්තාවක් ලබාදෙයි. ඒ වාර්තාව අනුව අපි ඉතා ඉක්මණින් අවශ්‍ය පියවර ගන්නවා. රෝහලේ අධ්‍යක්ෂතුමත්, රුධිරකාන්දුකරණ ඒ්කකයේ විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය පැමිණෙන රෝගීන්ට ඉතා ඉහල ප්‍රතිකාර සේවාවක් ලබාදී තිබෙනවා. තවමත් කාන්දුකරණ කටයුතු ඇරෙන්න අනෙකුත් රෝගීන්ට ලබාදිය යුතු සත්කාර කටයුතු වාට්ටුව තුල ලබාදීමක් සිදු වෙනවා.”