මෙරට ශ්‍රම බලකායේ ඉහළයාමත් සමග සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බලකාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 (Annual Research Symposium – 2024) පසුගියදා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය මෙවර පැවැත්වූයේ “ශ්‍රී ලංකාව තුළ තිරසාර වෛද්‍ය ශ්‍රම බලකායක් ගොඩනැගීම” (BUILDING A SUSTAINABLE MEDICAL WORKFORCE IN SRI LANKA) යන්න තේමා කරගනිමිනි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ 2030 වසර වන විට මෙරට ශ්‍රම බලකාය අවම වශයෙන් සියයට 30 කින් පමණ වැඩි වනු ඇති බවත්, එබැවින් අවම වශයෙන් තවත් වසර 10 කින් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය 200,000 කට ආසන්න හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බවයි.
සෞඛ්‍ය සේවාවේ තිරසරභාවය, සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සමග සෘජුව බැදී ඇති බවත්, බෝවන සහ බෝනොවන රෝග පාලනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම, වැඩිහිටි ජනගහනයේ සෞඛ්‍ය ආරක්ෂණය වැනි සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට අඛණ්ඩ පුහුණු වැඩසටහන් දියත් කරමින් කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ තිරසාර ශ්‍රම බලකායක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කරුණක් වන බව ද පෙන්වා දෙන ලදි.
මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකා සංවර්ධනය සදහා වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය දක්වන දායකත්වය මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ඇගයීමට ද ලක්විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ මෙහෙවර වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවට ප්‍රශස්ථ මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළම තත්ත්වයේ, නිපුණතාවයෙන් සහ කැපවීමෙන් යුත් විශේෂඥයින් බිහි කිරීමට අවශ්‍ය පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීමයි.
මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්යක්ෂ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය සේනක රාජපක්ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.