ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කළ වෘත්තීය සමිති සංසදයේ යෝජනාළියක් ඇතුළත් ලිපියක් ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වෙත බාරදීමට කටයුතු කර ඇත.
එම ලිපියේ සඳහන් යෝජනා පහත පරිදි වේ.
2024 නොවැම්බර් මස 14 වන දින පවත්වන මහ මැතිවරණයට ඉදිරිපත් වන ඔබ පක්ෂය පාලන කාලය තුල මෙරට ශ්‍රම බලකාය මෙන්ම පොදු ජනතාවට බලපාන පහත සඳහන් කර ඇති යෝජනා ඉදිරිපත් කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කළ වෘත්තීය සමිති සංසදයේ නියෝජිතයින් තීරණය කළෙමු.
■ සේවක අර්ථ සාධක අරමුදල සුරැකීම සඳහා වන වෘත්තීය සමිති යෝජනා
පෞද්ගලික අංශයේත්, අර්ධ රාජ්‍ය අංශයේත්, වැවිලිකරයේත් ලක්ෂ 27 ක් පමණ වන සේවකයින් දායකයින් වන සේවක අර්ථසාධක අරමුදල අවභාවිතා කරමින් සහ එම සේවක ඉතුරුම් අරමුදලට බදු පැනවීමට අමතරව එහි අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පවා යොදා ගනිමින් සේවක අරමුදලේ සුරක්ෂිතභාවයට එල්ල කෙරෙන තර්ජන පිටුදකිමින් එකී සේවක අරමුදල් සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වෙත වෘත්තීය සමිති ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව ඔබ පක්ෂයේ ස්ථාවරය විවෘතව ඉදිරිපත් කරන ලෙසත් (එම ලිපියේ පිටපතක් මේ සමග එවන්නෙමු)
■ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සහ වත්මන් බදු නිසා ජනතාව මුහුණ දෙන ගැටළු
ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ ධනවත් පිරිස් වත්කම් හා ආදායම් අනුව ගෙවිය යුතු නිවැරදි බදු ප්‍රමාණයන් නොගෙවන අතර අවුරුදු ගණන් බදු ගෙවීම් හිඟ තබන බව රහසක් නොවන පසුබිමක, ඔවුන්ගෙන් එකී බදු අයකර ගැනීම වෙනුවට මෙතෙක් ආණ්ඩු ක්‍රියාත්මක කළ සාමාන්‍ය ජනතාව වෙත බර පැටවීමේ සෘජු හා වක්‍ර බදු අය කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවට හිඟ බදු සියල්ල සමග ව්‍යාපාරිකයින් විසින් නිල වශයෙන් ගෙවිය යුතු බදු සියල්ල නොකඩවා නොඅඩුව අයකර ගැනීමේ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඔබගේ පාලනයක් යටතේ ඔබ සූදානම් ද යන්න ජනතාවට නොපමාව ප්‍රකාශ කරන ලෙසත්
■ පෞද්ගලික හා රාජ්‍ය අංශ සමග සියලු ක්ෂේත්‍ර ආවරණය වන රු. 50,000/= ක ජාතික අවම වැටුපක් සහ එය යාවත්කාලීන කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවය
රටට අවශ්‍ය විනිමය ඇතුළු ආදායම් ඉපැයීමේ මූලික ක්ෂෙත්රයක් ලෙස ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික අංශය වුවද, මේ වන විටද පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික ජාතික වැටුප රු. 21,000/= ක් වන අතර, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයටන්ට අනුව සිව් දෙනෙකෙුගෙන් යුක්ත පවුලක මූලික අවශ්‍යතා පිරිමැසීම සඳහා පමණක් මාසිකව රුපියල් 63,000 ක් අවශ්‍ය යැයි පිළිගෙන තිබෙන පසුබිමක, මෙම මාසික ජාතික අවම වැටුප සියලු ක්ෂෙත්ර සඳහා රු. 50,000/= ක් විය යුතු බව අප වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ඔබ පක්ෂය පිළිගන්නේද යන්න සහ මෙම ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට ඔබ පාර්ලිමේන්තුවේදී අවශ්‍ය පියවර ගන්නේද යන්න ජනතාවට ප්‍රකාශ කරන ලෙසත්
■ යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ
පවතින කම්කරු අණපනත් 13 ක් අහෝසි කරමින් සහ පැය 08 ක වැඩ දිනය අහෝසි කරමින්, කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමේ රෙගුලාසි ඉවත් කරමින්, අත්තනෝමතික ලෙස සේවකයින්ගේ සේවය අවසන් කිරීමට එරෙහි නීති ඉවත් කරමින් පිළිගත් සමාජ කථිකාවෙන් බැහැරව පසුගිය ආණ්ඩුව ගෙන ඒමට සැළසුම් කළ ඒකීය කම්කරු නීතිය නමින් වන කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔබ පක්ෂයේ ස්ථාවරය පැහැදිළි කරන ලෙසත්
■ අඩු ආදායම්ලාභීන් සඳහා නිශ්චිත සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
දිළිඳු බව නිර්ණය කිරීමේ බරපතල අඩුපාඩු හා විෂමතා හමුවේ ගණන් නොබැලෙන නමුත් රටේ ජනතාවගෙන් අති බහුතරයක් දුගී ජීවිත ගත කරන හෙයින්, වෘත්තීය සමිති යෝජනා කරන්නාවූ ජාතික අවම මාසික ආදායම විය යුතු රුපියල් 50,000 ක සීමාව දිළිඳු රේඛාව ලෙස පිළිගනිමින් ඒ අනුව වන පහළ ආදායම්ලාභී සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සළාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඔබ පක්ෂය කටයුතු කරන බවට ජනතාවට ප්‍රකාශ කරන ලෙසත් පහත අත්සන් කරණ අපි මෙයින් ඉල්ලා සිටිමු. තවද මෙම ලිපිය ලැබුණු බවට සහ අප කරන යෝජනා සම්බන්ධව ඔබ පක්ෂය ගන්නා පද පියවර පිළිබඳව අප වෘත්තීය සමිති සංසදය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.