වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත. සංචරණයට ලැදි එවැනි පුද්ගලයින් තමන්ගේ සංචාරක ගමනාන්තයන් තෝරාගනු ලැබීමට බෙහෙවින් භාවිතා කරන්නේ වර්තමානයේ ප්‍රකට සංචරණ (Travel Bloggers) බ්ලොග් අඩවි සහ ඒ ආශ්රිත සමාජ මාධ්‍ය, බලපෑම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ජාලාය. එම නිසා මේ වන විට ලෝකයේ සංචරණ බ්ලොග්කරුවන් සහ ඒ ආශ්රිත සමාජ මාධ්‍ය ජාලාකරුවන් යනු සංචාරක කර්මාන්තයේ ආකර්ශනීය සුවිශේෂ ගමනාන්ත සංචරණ ලෝලීන්ට හඳුන්වාදීමේ පෙර ගමන්කරුවන් හෙවත් ජාත්‍යන්තර සංචාරක බලපෑම්කරුවන් (International Travel Influencers) බවට පත් වී ඇත.
විශේෂයෙන් Face book, twitter, youtube,instagram,tiktok,Linkedin වැනි ලොව වැඩිම පිරිසක් භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව සංචාරක ගමනාන්තයන් පිළිබඳ තොරතුරු ලොවේ විසුරුවා හැරීම අද සංචාරක ප්‍රවර්ධනයේ ඉතා සීඝ්රයෙන් පැතිර යෑම දක්නට ලැබෙන ප්‍රධාන නව ප්රවණතාවයකි.එම සමාජ මාධ්‍ය ආශ්‍රිතව ලොව සංචරණ ආකර්ෂණය ප්‍රවර්ධනය කරන ප්‍රධාන සංචාරක බ්ලොග් කරුවන් සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් කංඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට සංචාරය සඳහා ලෝකයේ හොඳම ගමනාන්තයක් බවට පත්වෙමින් පවතී.2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත් කිරීම වර්තමාන ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ ඉලක්කය බව ප්‍රකාශයට පත් වී ඇත.
එම ඉලක්කය වෙත ගමන් කිරීමේ දී ලොව ඉතා ඉහළ පිළිගැනීමක් ඇති සංචාරක බ්ලොග්කරුවන් සහ සංචාරක ප්‍රවර්ධන සමාජ මාධ්‍ය ජාලාකරුවන් වෙතින් දැවැන්ත දායකත්වයක් ලබා ගැනීම අරමුණු කර ගනිමින්, ලෝකයේ සිටින ප්‍රමුඛතම සංචාරක බ්ලොග්කරුවන් සහ ජනප්‍රිය සංචාරක ක්ෂේත්රය ආශ්රිත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිස් දෙනෙකු (30) මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව එක්සත් රාජධානිය, ජර්මනිය,ඉතාලිය ප්‍රංශය,ඕස්ට්‍රේලියාව ඉන්දියාව,හොංකොං ඇතුළු රටවල් දහයක මෙම සංචාරක බ්ලොග්කරුවන් තිස්දෙනා (30) ඔක්තෝම්බර් 29 සිට නොවැම්බර් 08 දක්වා දින (10) දහයක කාලයක් මෙරට පළාත් නවයේම සංචාරක ප්රවර්ධනීය ප්‍රදේශවල සැරිසරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආකර්ෂණීයත්වය සහ සුවිශේෂත්වය සජීවීව තම ලක්ෂ හැත්තෑවකට නොඅඩු බ්ලොග් රසිකයන් සමග බෙදා ගැනීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති.බුද්ධික හේවාවසම් මහතා පවසයි.
එහිදී කොළඹ, යාපනය, අනුරාධපුර, හබරණ, සීගිරිය, දඹුල්ල, මීගමුව,ගාල්ල, බෙන්තොට හපුතලේ, බදුල්ල, තිස්සමහාරාම, රත්නපුර උඩවලව වැනි ප්‍රදේශවල මෙම ජාත්‍යන්තර සංචාරක බලපෑම්කරුවන් (International Travel Influencers) සංචාරය කරනු ඇත.
මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති සංචාරක බ්ලොග්කරුවන් සමාජ තිස් දෙනකු මෙරටට එකවර පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඒ අනුව එළඹෙන දෙසැම්බර් ශීත කාලයේ දී (Winter Season) ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ සංචාරය කළ යුතුම ගමනාන්තයක් යන අදහස ලෝක සංචාරක ලෝලීන් අතර ප්‍රවර්ධනය මෙම බ්ලොග් කරුවන්ගේ ඉලක්කය ලෙස ලබාදී ඇති බව කාර්යාංශයේ සභාපති බුද්ධික මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මෙම ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් පිළිගැනීමේ සහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ ඔවුන්ගේ අත්දැකීම් සහ ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ මතයන් බෙදා ගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ගල්කිස්ස මහ හෝටල් වෙරල තීරයේ පසුගියදා (30) පැවැත් වූ සුහද හමුවේදීය.
ඒ අනුව ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ලෝක සංචරණ ලෝලීන් තුළ සංචාරක ආකර්ෂණ කලාප ප්‍රවර්ධනය කරන මෙම බ්ලොග්කරුවන්, ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය, සුන්දරත්වය සහ මෙරට සංචරණයේ වැදගත්කම හෙළිදරව් කරමින් අවධාරණය කරන බ්ලොග් හා සමාජ මාධ්‍ය විශේෂාංග රචනා,ඉදිරිපත් කිරීම් සහ සජීවී ඉසව් (1000 Posts) දහසක් තමන්ගේ බ්ලොග් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතය.
මෙම පැමිණෙන සංචාරක බ්ලොග්කරුවන් අතර ඉන්දියාවේ Nivedith Gajapathi, ඉතාලියේ Diana Bankale යන ලෝක ප්‍රකට සංචාරක බ්ලොග්කරුවන් ලෝක ප්‍රකට සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍ය ජාලාකරුවන් ඇතුළත් වෙති.
මෙම වැඩසටහන, පළාත් සංචාරක අමාත්‍යාංශ, සමස්ත ලංකා සංචාරක හෝටල්කරුවන්ගේ සංගමය, Inbound Tourists Association ඒකාබද්ධව සිදු කිරීම මෙහි ඇති විශේෂත්වය බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.