2025 දී පුද්ගලික අංශයේ සේවකයින්ට ජයග්‍රහණ රැසක් ලබාදෙනවා - කම්කරු අමාත්‍ය

anil-jayantha-mahinda-jayasinghe-2024

එළඹෙන 2025 වර්ෂයේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව වෙනුවෙන් සුවිශේෂ ජයග්‍රහණ රැසක් ලබාදීමට සිය අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගන්නා බව කම්කරු ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම ජයග්‍රහණ ලබාදීම සඳහා යන ගමනේ දිශානතියට ඉතාම යහපත් සංඥාවන් රැසක් කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ලැබුණු බව ද ඒ මහතා කීය.

කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය (27) දින එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අමතමින් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“අපට දැවැන්ත ප්‍රගතියක් කම්කරු ක්ෂේත්‍රයේ 2025 දී කරන්න බැරි වේවි. නමුත් වැඩ කරන ජනතාවට ජයග්‍රහණ ලබාදීමට යන ගමනට, දිශානතියට, ඉතාම හොඳ සංඥාවක් ලැබුණා. ඉදිරියේදී අපට අභියෝග රැසක් තියෙනවා. ඔබ සියලු දෙනාට මාත් නියෝජ්‍ය අමාත්‍යවරයාත් සමඟ ඕනෑම විටෙක කතා කරන්න පුළුවන්. අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. මේක සුවිශේෂ අවස්ථාවක්. ඇමතිවරයාත්, නියෝජ්‍ය ඇමතිවරයාත් අතර විශාල දුරස්ථභාවයක් ඔබ මෙයට පෙර දැක තිබුණේ, ඇමතිවරයා හමුවෙන්න යන්නේ නියෝජ්‍ය ඇමතිවරයාට හොරෙන්. නමුත් අපේ එහෙම එකක් නෑ. අපේ එකම අරමුණ රටට, රටේ ජනතාවට විශාල සේවාවක් සැලසීමයි- ඔබ සැම තුළ ඉතා නැවුම් අලුත් අදහස් තියෙනවා. ඒ අදහස්, යෝජනා අප සියලුදෙනා එක් වී යථාර්ථයක් කරමු. වැඩකරන ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් යහපත් දෑ කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අප එකතුවෙලා වැඩ කරමු. කම්කරු දෙපාර්තමේන්තුව ලබාදෙන සේවාවන් පහසු කිරීමට නවීන තාක්ෂණය උපරිම වශයෙන් භාවිත කිරීමට අවධානය යොමු කළ යුතු ව තිබෙනවා.

මහජන සේවාවන් ලබා දීමේදී පැවැති දේශපාලනික සහ අතරමැදි තැරැව්කාර ස්වරූපය වෙනුවට පොදු විධිමත් විද්‍යාත්මක ක්‍රම කෙරෙහි විශ්වාසය තබා එම ක්‍රම ශක්තිමත්ව ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට අපි අවධානය යොමු කළ යුතුයි. දහසකුත් ලිපි ලේඛන පුරවමින් කාර්යාල ගානෙ රස්තියාදු වෙන සංස්කෘතියට අපි මේ නව දේශපාලන සංස්කෘතිය යටතේදිවත් තිත තියමු. මාර්ගගත ක්‍රම ඔස්සේ අද ලෝකයේ බොහෝ වැඩ කටයුතු සිදුවෙනවා. ඒ අනුව අපිත් ඊට අනුරූපව වැඩ කිරීමට පෙළ ගැසෙමු. කම්කරු දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට සේවාවන් ලබා දීමේදී අවශ්‍ය කරන තාක්ෂණය උපරිම වශයෙන් ලබා දීමට ඉදිරියේදී රජයක් විදිහට අපි කටයුතු කරනවා. අපිට අවශ්‍ය කරන්නෙ මහජනතාව සතුටින් තැබීමයි. ඒ සඳහා යම් නිශ්චිත කාලයක් ගත වේවි. හැබැයි අපි අනිවාර්යයෙන්ම මහජන සේවාවන් ලබා දීමේදී මෙතෙක් අනුගමනය කළ ගතානුගතික ක්‍රම වෙනුවට නවීන තාක්ෂණික ක්‍රමෝපාය සහ උපකරණ කෙරෙහි විස්වාසය තැබිය යුතු වෙනවා.

මෙම සාකච්ඡාවේදී සේවා තත්ත්වයන් සහ කොන්දේසි, සමාජ ආරක්ෂණ සම්බන්ධයෙන් අදාළ වන අණපනත්, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රගතිය, එහි ප්‍රතිලාභ ගෙවීම එසේම එයට දායක මුදල් ගෙවීම පැහැර හරිනු ලබන සේවායෝජකයින් වෙතින් දායක මුදල් අය කරගැනීම, සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇමතිවරයා විසින් දැඩි අවධානයට ලක්කරනු ලැබිණ. සේවක අර්ථසාධක ප්‍රතිලාභ ගෙවීමේ සංකීර්ණත්වය සහ ගැට`ඵකාරී තැන් සොයා බලා එය සරල කර ජනතාවට වඩාත් පහසුවෙන් එහි ප්‍රතිලාභ ලබාගැනීමට ක්‍රමවේද සකස් කිරීමට පියවර ගන්නා ලෙසට ද ඇමතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය-

එළඹෙන 2025 වර්ෂයේ දී ඉටු කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර ක්‍රමවේදයක් සකස් කිරීමට විෂය දැනුම ඇති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවේ ප්‍රගතිය සහ සැලසුම්, කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙසට ද ඇමතිවරයා ඉල්ලා සිටියේය.

කම්කරු නීති බලාත්මක කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය වේ නම්, අධිකරණ අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීමට ද අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කීය.

“මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පවතින කම්කරු නීති වෙනස් කිරීම, සංශෝධනය කිරීම, නව යෝජනා ඇතුලත් කිරීම් ආදී අවශ්‍ය වේ නම් අධිකරණ අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා.”

මහජන සේවාවන් ලබා දීමේදී ප්‍රමාණවත් තරම් මානව සම්පත් නොමැති බව අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. කළමණාකරණ සහකාර තනතුරුවල පමණක් පුරප්පාඩු දෙසීයක් පමණ ඇති බව අනාවරණ වී තිබෙනවා. එම නිසා අමාත්‍යවරයා විදිහට මමත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහෝදරයාත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි.

රාත්‍රී කාලයේ කාන්තාවන් සේවයේ යෙදවීමේදී වැඩබිම්වලදී සිදුවන විවිධ කාන්තා හිංසනයන් වැළැක්වීමට වැඩපිළිවෙක් අවශ්‍යයි. ළමා ශ්‍රමය තුරන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ළමයින් ඒ සඳහා යොමු වීමට බලපා ඇති හේතු හඳුනා ගැනීම ද අවශ්‍ය කාරණයක්. ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා කටයුතු කිරීමට එහි හේතු හඳුනා ගැනීම ඉතාම වැදගත්. සමහර ළමයි ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවල නියැලෙනවා. සමහරෙක් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීමට අවශ්‍ය නිසා රැකියාවල නියැලෙනවා. ඒ නිසා ළමා ශ්‍රමය තුරන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට ඒ සදහා යොමු වූ හේතු ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා “අපට ඇත්තේ එකම අරමුණයි. එකම බලාපොරොත්තුවයි. ජනතාවට වඩාත් හොඳ රටක්, වඩාත් හොඳ ජීවිතයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. මේ රට මේ තරම් පහළට වැටීමට හේතු සාධක දෙකක් තියෙනවා. අනවශ්‍ය දේශපාලන අතපෙවීම්, බාල දේශපාලන සංස්කෘතිය සහ රාජ්‍ය සේවාව කඩා වැටීමයි. රාජ්‍ය සේවාව ප්‍රශස්ත මට්ටමකට ගෙනඒමට අප සියල්ලන් එක්ව කටයුතු කළ යුතුය. අඩුම තරමින් සේවාවන් ලබාගැනීමට එන ජනතාවට කතා කරන්න, ඔවුන්ගේ ප්‍රශ්න ඇහුම්කන් දීමට කටයුතු කළ යුතුය. ඔබගේ අදහස්, යෝජනා සියල්ල අපට කියන්න. අප එක්ව වැඩ කරමු.”

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්මේන්තුවේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.