පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සියලුම රටවලට මෙන් බලපාන අයුරු තීරු බදු සියයට 10 කින් ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑමෙන් ක්ෂේත්‍ර කිහිපයකට රැකියා සුරක්ෂිතභාවයට දැඩි බලපෑමක් එල්ල වන බවත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට රජයට පහසුකම් සැපයීම හා මාර්ග සේවීම සඳහා වෘත්තීය සමිති එකමුතුවක් ගොඩනැගීමට කටුතු කරන බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් සියළු වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.
එම ලිපිය පහත් පරිදි වේ.
ඉකුත් 05 වන දින සිට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සියලුම රටවලට මෙන් බලපාන අයුරු තීරු බදු සියයට 10 කින් ඉහළ දැමූ අතර, අප ඇතුළු තවත් රටවල් 60 ට වැඩි සංඛ්‍යාවකට අප්‍රේල් 09 වන දින සිට ප්‍රතිචාරක තීරු බදු (Reciprocal Tariff) ලෙස පැනවූ විශාල බදු ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය දින තාවකාලිකව දින 90 ට අත්හිටුවා ඇති බැව් අපි කවුරුත් දනිමු. ඒ දින 90 ඇතුළත ඔහු ඊළගට ගනු ලබන තීන්දුව ගැන අනුමාන කිරීම එතරම් පහසු නැතැයි අපි සිතමු.
ඒ කෙසේ වෙතත් ගෝලීය වෙළඳපලෙහි ඇති වූ වෙනස්කම් හා ඉදිරියේ ඇති විය හැකි වෙනස්කම් කිසිවක් අපට රටක් වශයෙන් හිතකර නොවිය හැකි බැව් පැහැදිළි ය. දැනට කවුරුත් පිළිගන්නා අයුරු අපගේ ආනයන වියදම ඉහළ යන අතර, ඒ සමග අපනයන නිෂ්පාදන වියදමද ඉහළ යනු ඇත. ඒ නිසාවෙන් අපනයන ඇණවුම් සීමා විය හැකි යැය ද, අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අස්ථාවර වන්නේ යැයිද විශේෂඥ අදහස් වන්නේය.
එළෙසින් වන වෙළඳපල වෙනස්කම් හේතුවෙන් රැකියා සුරක්ෂිතතාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ඇඟළුම්, රබර්, සම් භාණ්ඩ වැනි සෘජු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියෝජනයක් ඇති වෘත්තීය සමිතියක් වශයෙන් අපට ද මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීමක් ඇත. ඔබට කෙරෙන මෙම ඇමතුම ඒ වගකීමද ඇතිව කෙරෙන්නකි.
මේ අර්බදුයට ආණ්ඩුවට තනිව විසඳුම් සෙවිය නොහැකි බැව් පසුගිය 10 වන දින ජනාධිපති විසින් සියලු දේශපාලන පක්ෂ සමග පැවැත් වූ සර්ව පාක්ෂික සාකච්ඡාවෙන් සනාථ විය. එහෙත් විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති පත් කළ කමිටුව, ව්‍යාපාරික නියෝජනයක් සඳහා වැඩි අවකාශයක් තිබූවකි. එවැනි පාර්ශවීය මැදිහත්වීම් මගින් මේ අර්බුදයට ස්ථාවර විසඳුම් සෙවිය නොහැකි යැයි අපි තරයේ විශ්වාස කරමු.
එබැවින් තීරු බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් විසඳුම් යෝජනා සකසා ජනාධිපති ට්‍රම්ප් පාලනයට ඉදිරිපත් කිරීමට
01. සියලු පාර්ශවකරුවන් නියෝජනය වන ජාතික කමිටුවක් පාර්ලිමේන්තුව මගින් පත් කිරීමටත්
02. රැකියා තර්ජනයට සාර්ථකව මුහුණ දිය හැකි සැළසුමක අවශ්‍යතාව අවධාරණය කිරීමටත්
මේ මොහොතේ අප වගකීම් භාරගත යුතු යැයි අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් වන පුළුල් සාකච්ඡාවක් මේ අප්‍රේල් මස 23 වන දින උදය 10.00 ට අංක 532/5, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05. (පෑන් ඒෂියා බැංකුව අසළ) පිහිටි NUSS සංගම් කාර්යාලයේදී පැවැත්වීමට අප සූදානම්කර ඇති හෙයින්, මෙය එම සාකච්ඡාවට පැමිණෙන ලෙස කෙරෙන කාරුණික ඇරයුම ය. අදාල කාරණාවේ බරපතලකම අනුව ඔබගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බැව් කරුණාවෙන් සළකන්න.