- එරාවුර් රෝහල මුලික රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය.
- සෞඛ්‍ය සේවාවේ පැරණි පුරප්පාඩු ලේඛනය මේ වසරේ යථාවත් කිරීමට පියවර.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් රෝහලේ විශේෂ නිරීක්ෂණයක පසුගිය දා නිරත විය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව එරාවූර් රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහල් ශ්‍රවණාගාරයේ දී රෝහලේ පවතින ගැටළු නිරාකරණය උදෙසා පැවැති විශේෂ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරු පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි. ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා බවත් එය සුභදායි ප්‍රවණතාවයක් බව ද මෙහි දී අවධාරණය කරන ලදි.
විශේෂඥ වෛද්‍ය හිඟයක් පවතින මෙරට විශේෂඥ වෛද්‍යවරු සිටිනුයේ 2000 ක පමණ පිරිසක් බැවින් විශේෂඥ පුහුණුවට විදෙස්ගත ව සිටින සියලු විශේෂඥ වෛද්‍යවරු මෙරටට පැමිණ දුරබැහැර ප්‍රදේශවල තිබෙන රෝහල්වල පවා සේවය කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත්, අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් එම විශේෂඥ වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම සඳහා රජය සුදානම් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා එමගින් මෙරට විශේෂඥ වෛද්‍ය ගැටළුව කඩිනමින් විසදිය හැකි වනු ඇති බව ද පෙන්වා දෙන ලදි.
ලක්ෂයකට අධික ජනතාවකට සෞඛ්‍ය සේවාව සපයනු ලබන එරාවුර් රෝහල ප්‍රදේශයේ අවශ්‍යතාවයන් අනුව මුලික රෝහලක් ලෙසට උසස් විය යුතු බවත්, පහසුකම් සහිත නව ගොඩනැගිලක් ද රෝහලට ලැබී තිබෙන බැවින් දුෂ්කරම අභියෝගය වන රෝහලට අවශ්‍ය මානව සම්පත ලබාදීම සිදු කළ යුතුව ඇති බව ද පැවසීය. හිඟයකින් තොරව මානව සම්පත ලබාදීම ගොඩනැගිලක් හදන තරම් ලෙහෙසි පහසු නොවන බව ද රෝහල්වල පවතින පැරණි පුරප්පාඩු ලේඛනය මේ වසරේ යථාවත් කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මූලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් එම අඩුපාඩුවලට කඩිනම් විසදුම් ලබාදෙමින් මෙරට ජනතාවට ගුණාත්මක, විධිමත් සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව එරාවූර් රෝහලේ නිරීක්ෂණය සිදුවිය.
එරාවූර් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර මහතා රෝහලේ මානව හා භෞතික සම්පත් සහ ක්‍රියාත්මක ව්‍යාපෘති හා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එස්.ඒ.එම් රිනාස් මහතා වෙත සේවය ඇගයීමේ සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද සිදුවිය.
මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන්, එරාවූර් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් එච්.ඊ.ඩබ්.ජී දිසානායක, නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.එස්.එන් විමලරත්න, ප්‍රාදේශීය ලේකම් මුසම්මිල් යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ.