වෛද්‍යවරුන් 209කට සහ හෙද නිලධාරීන් 1000කට කොරෝනා

වෛද්‍යවරුන් 209කට සහ හෙද නිලධාරීන් 1000කට කොරෝනා

මේ වන විට දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇති අතර කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු සහ හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද සිටින බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

‘‘මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදු වෙනවා. වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුයි. මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව තිබෙනවා‘

ෙගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා‘ යැයි ද ඔහු සදහන් කළේය.

මේ අතර ඊයේ (19) දිනමිණ පුවත්පත මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් වාර්තා කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ පමණක් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා 250කට අධික පිරිසක් කොවිඩ් අසාදනයට ලක්ව ඇති බවයි. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ අගෝස්තු මස ආරම්භයේදී තිබුණු තත්වයට වඩා වේගයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද වෛරස් ආසාදනයට ගොදුරුවී ඇති බවය. රට පුරා රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් 1000ක් පමණ මේ වන විට ආසාදනයට ලක්වී ඇති බව ද අදාළ ප්‍රවෘත්තියෙන් හෙළිකර තිබිණි.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. ඩී. මැදවත්ත උපුටා ගනිමින් එම ප්‍රවෘත්තිය පළකර තිබුණි.