නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ට පත්වීම්

නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ට පත්වීම්

දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් (16) දින පත් කෙරිණි. ඒ අනුව මෙම පත්වීම්ලාභීන් සංකේතවත් කරමින් ඉන් ඉහළම ලකුණු ලැබූ නව නිලධාරිනියන් දස දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

ඉන් 49 දෙනෙකු රේඛිය අමාත්‍යංශය යටතේ පවතින රෝහල් වෙත මෙන්ම තවත් 173 දෙනෙකු පළාත් සභා යටතේ පවතින ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ හා රෝහල් සඳහාද අනුයුක්ත කෙරේ.

වසර එක හමාරක පුහුණුව ලැබූ මෙම පිරිසට අමතරව තවත් 1000 ක කණ්ඩායමක් මේ වනවිට පුහුණුව ලබමින් සිටින අතර ඔවුන් ඉදිරියේදී නව පත්වීම්ලාභීන් ලෙස සෞඛ්‍ය සේවාවට එක් වීමට නියමිතය. මේ වන විට මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 8753 දෙනකු රාජකාරියේ නිරත වේ.

රෝහල් වල සූතිකාගාර සේවයේ මෙන්ම ක්ෂේත්‍රයේ ළමා හා මාතෘ සායන , නව ජන්ම සායන,පූර්ව හා පසු ප්‍රසව නිරීක්ෂණ කටයුතු, ළමා එන්නත්කරණය , සෞඛ්‍ය අධ්‍යාපනය ආදී විශාල කාර්යභාරයන් රැසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් විසින් සිදු කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.

අතීතයේ සිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් හරහා විශාල සේවාවක් මෙරට ප්‍රජාවට සිදු වූ බවත් විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ රාජකාරිවල නිරතවන නිලධාරිණියන් එමගින් ගම සමඟ බද්ධව සිටින තත්ත්වයක් පැවති බවත් මෙහිදී කීය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් යනු රැකියාවට එහා ගිය මනුෂ්‍යත්වය හා ගැටගැසුණු සංවේදී කාර්යයක් බවත් එම නිලධාරිණියන් ග්‍රාමීය මට්ටමින් ප්‍රායෝගිකව සිදු කරනු ලබන ක්‍රියාවලිය විශ්වවිද්‍යාලයකට එහා ගිය දැනුමක් එක් කිරීමේ ක්‍රියාවලියක් යයිද, ඒ තුළ අත්දැකීම් රැසක් හිමිවන්නේ යැයි ද ඒ මහතා කීය. වේතනය සඳහා රැකියාවක් කිරීමත්, තෘප්තිමත්භාවය සඳහා රැකියාවක් කිරීමත් අතර විශාල පරස්පරයක් පවතින බවත් මෙවැනි සේවාවන් තුළින් එවැනි ගුණාංග වටිනාකම් රැසක් එක්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට අභියෝග මෙන්ම අසීරුතා රැසක් මධ්‍යයේ රටේ ආර්ථිකය හැසිරුවද මෙවැනි රැකියා සඳහා රජය අවකාශ සලසා ඇතැයි ද විශේෂයෙන්ම  සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා රජය සෑමවිටම වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා කීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනත් විකල්ප නොමැති යැයි ද ඒ අනුව එම ක්ෂේත්‍රයට ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න , වත්සලා ප්‍රියදර්ශනී හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්(පාලන) වසන්ති ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.