ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් වූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාලගත විය යුතුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් වූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් ජාලගත විය යුතුයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් සහ ඡන්ද බලයෙන් 56% ක් හිමිවූ කාන්තාවන්ගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් කාන්තාවන් ලෙස ජාලගත වීම වැදගත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කාන්තා දේශපාලන සහභාගීත්වය පිළිබද ප්‍රතිපත්ති සහ භාවිතාවන් සිතියම්ගත කිරීම සදහා දේශපාලන පක්ෂ තුළ කාන්තා නියෝජනය පිළිබදව One Text Initiative සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ෆින්ලන්තයේ දේශපාලන පක්ෂ යන ආයතනයන් විසින් ඉදිරිපත් කළ වාර්තාව මොනාර්ක් ඉම්පීරියල්හිදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රජය විසින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා තමන්ගේ කැපවීම ප්‍රකාශ කර ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 06ක සහභාගීත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන මැදිහත්වීම පිළිබද ඉතා පැහැදිලි චිත්‍රයක් සපයනු ලබයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කලේ 225ක් සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකුගේ හඩ නොඇසෙන බවත් 213ක් අභිබවා යාහැකි හඩක් නැගීමට නම් 23%ක් වූ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියන් සහ කාන්තාවන් ජාලගතවීම අවශ්‍යතාවයක් බවයි. මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනා විවිධ පක්ෂවල සිටියත් කාන්තාවන්ගේ ප්‍රශ්නවලදී එකට සිටගන්නවා සේම යම් මන්ත්‍රීවරියකට සිදුවන අසාධාරණයකදී මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස එක්ව කටයුතු කරන බවයි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සදහා වෙන්කර ඇති 25%ක කෝටාව අඩුකිරීමට උත්සාහගනු ලැබුවහොත් එය පරාජය කිරීමට තමන් කැපවන බවයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහතික කිරීම සදහා මේ වන විට පියවර රැසක් ගනිමින් සිටින බව සදහන් කළ අමාත්‍යවරිය ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ද පත්කර ඇති බව සදහන් කළාය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දෙමළ සන්ධානය වෙනුවෙන් එම්.ඒ.සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් දොලවත්ත, ජගත් පුෂ්ප කුමාර, හිටපු මන්ත්‍රීවරුන් වන ෆේරියල් අෆ්රොෆ්, කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් සමග වන් ටෙක්ස්ට් ආයතනයේ සභාපති අමීර් ෆායිස්, එහි ව්‍යාපෘති අධ්‍යක්ෂිකා කනකා අබේගුණවර්ධන, කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රභා මනුරත්න, හරිනද්‍ර බී දසනායක, මනීෂා දූල්ලෑව යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.