60න් පැන්ෂන් යාම - පාර්ලිමේන්තු සේවකයින්ට වෙනම හැන්දක්?

60න් පැන්ෂන් යාම - පාර්ලිමේන්තු සේවකයින්ට වෙනම හැන්දක්?
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කළ ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින්  පාර්ලිමේන්තුවේදී අද (13) දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
 
"පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට විතරක් මෙතනදී විශේෂයක් කළොත් අපි අපිටම බෙදා ගන්නවා කියන චෝදනාව මතුවී රටේ නැවතත් ලොකු අර්බුදයක් ඇතිවෙන"  බැව් සියඹලාපිටිය කියා සිටියේය.
 
සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
 
රංජිත් සියඹලාපිටිය එහිදී මෙසේද, කියා සිටියේය.
 
පාර්ලිමේන්තුවෙන් මේ ඉල්ලීම ඇවිත් තියෙනවා. රාජ්‍ය සේවයේ සියලු දෙනාටම මේ ප්‍රශ්නය තියෙනවා. මහා භාණ්ඩාගාරය මේ ප්‍රශ්නය බලන්නෙ එක ප්‍රශ්නයක් විදියට නොවෙයි. ඒ අය බලන්නේ රටක් විදිහටයි. මෙතනදී පොදු තීරණයකට එනවා හැරෙන්නට වෙන විකල්පයක් නැහැ. මහා භාණ්ඩාගාරය අද ඉන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන තැනක. අපි මේ ඇත්ත අවබෝධ කරගත යුතුයි
 
මෙහිදී කථානායකවරයාගේ අදහස වූයේ, පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් බැවින් ඒ් සම්බන්ධයෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි බවකි.
 
එහිදී රංජිත් සියඹලාපිටිය මෙසේද, සඳහන් කළේය.
 
"එහෙමනම් අපි පොදු තීරණයකට එන්න ඕන. මහ භාණ්ඩාගාරය ඉන්නේ ඒ මතයේ. එහෙම නොකළොත් අපි අපිටම බෙදාගන්නවා සහ අවශ්‍ය නීති හදාගන්නවා අපිට කියලා චෝදනාවක් ඒවි ඒ තත්වයට යා යුතු නැහැ."
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට එරෙහිව යළි ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරිනි.
 
"පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ විශ්‍රාමය ගැන කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව රැස්වී තීරණයක් ගත්තා. අපි ඒකට අස්සන් කළා. නමුත් රංජිත් සියඹලාපිටිය මහත්තයට ඒක අත්සන් තබන්න බැරිවෙලා තියෙනවා. හැට පහ හැට කිරීම තුළ ඇතිවී තිබෙන ඛේදවාචකයේ ප්‍රතිඵල. හැට හැට පහ කළට පස්සේ නිලධාරීන් බැංකුවලට ගිහින් ණය අරගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ නිලධාරිනුත් ඒ වගේ ණය අරන් තියෙනවා. 65 දක්වා දික් කරපු නිසා ගත්තේ. දැන් කියනවා ඒ ගත්තු ණය පියවන්න කියනවා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ කාලය වසරකින් දීර්ඝ කරන්න. අපි ගත්ත තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. සියඹලාපිටිය මහත්තයට භාණ්ඩාගාරයේ මතය පළ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වැඩේ කළාම අමතර පිරිවැයක් වැය වෙන්නේ නැහැ. කොහොමද මේ අය මේ ණය ටික පියවන්නෙ. වහාම ඒ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණය ක්‍රියාත්මක කරන්න.හැට,  හැට පහ කිරීමට ගත් තීරණයට අපි සම්බන්ධ නෑ."